පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (18) පැමිණියහ.
ඒ, බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීමට සහ අදාළ කටයුතු විධිමත් අයුරින් යළි ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමිනි.
මෙහිදී අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, හීරා ෆවුන්ඩේෂන් නැමති ආයතනය නමින් නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් ඉඩමක් ලබා ගත් බවත්, එහි නොමිලේ තාක්ෂණික අධ්‍යාපනය ලබා දීමට සුදානමින් සිටි බවයි.
පසුව බැටික්ලෝ පර්යිවට් කැම්පස් ලිමිටඩ් ආයතනයට පවරා ගන්නා බවත් පැවසු උන්වහන්සේ, එය නීතිවිරෝධි බවත් එයට මුදල් ලබා ගත් ආකාරයත් නීති විරෝධී බවත් පැවසුහ.
මෙහි මුදල් අවභාවිතය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත්, ඉඩම් ලබා ගත් ආකාරය පිළිබඳව ද ගැටළුවක් ඇති බවත් පැවසු රතන හිමියෝ, මුදල් ලබා දුන් ආයතනවල අභිප්‍රායන් පිළිබඳව ද ගැටළුවක් ඇති බව සඳහන් කළේය.
මෙම විශ්වවිද්‍යාලය පෙර දී තාක්ෂණික විශ්ව විද්‍යාලයක් බව පෙර දී සඳහන් කළ ද, අද වන විට මෙය කලා පීඨයක් නැතිනම් 'ෂරියා නීතිය' ඉස්ලාම් දහම උගන්වන තැනක් බවට පත් කරමින් මුලධර්මවාදී විශ්වවිද්‍යාලයක් සැකසීම සැලැස්ම බවත් රතන හිමියන් කියා සිටියහ.






