සමගි ජන බලවේගය සහ අප මැති ඇමති තනතුරු බෙදා ගැනීම් වැනි වරදාන වරප්‍රසාද මුල් කරගනිමින් ආණ්ඩුව සමග එක්වීමට සූදානම් වන බවට නවතම ප්‍රවෘත්තියක් ආණ්ඩුවට හිතැති කණ්ඩායම් විසින් නිර්මාණයකොට සමාජගත කර තිබෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පවසයි.
එම ව්‍යාජ ප්‍රවෘත්තිය සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ ව්‍යාජ ප්‍රවෘත්තියටම හිමි පිළිකුලෙන් යුතුව එය හෙළා දකින බවත් හෙතෙම අවධාරණය කර සිටියි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
පැවති දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් වන වර්තමාන ආණ්ඩුව, පැවති ආණ්ඩුවටත් වඩා බිහිසුණු අගාධයකට අපේ රට තල්ලු කරමින් සිටින බවට අප මුල සිටම අනතුරු අඟවන අතර වැඩිකල් නොගොස් මේ ආණ්ඩුවේ අසාර්ථක වැඩපිළිවෙළෙහි නිරුවත හෙළිවනු නොඅනුමාන බව ඔහු කියා සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත්කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.
'' අමූලික බොරුවක්. පදනම් විරහිත මෘග්ධ ප්‍රවෘත්තියක් ''
''පොහොට්ටුවේ සෙවනැලි ආණ්ඩුවක් බවට පත්වෙමින් සිටින ආණ්ඩුව මුල සිටම සිදු කරමින් සිටියේ සමගි ජන බලවේගය පිළිබඳව ව්‍යාජ පුවත් ජනගත කරමින් සිය අසාර්ථක බලන්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමය.
ලුම්පත් ධනවාදී කල්ලිවලත්, ප්‍රතිගාමී බලවේගවලත් එකම අභියෝගය සමගි ජන බලවේගය වන අතර සමගි ජනබලවේගයට හානි කිරීම වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට එම කල්ලි දෙවරක් සිතන්නේ නැත.
මැතිවරණයකින් මෙපිට මේ අභාග්‍යසම්පන්න ඉරණමෙන් අපේ රට මුදවා ගත නොහැකි බව අප තරයේ විශ්වාස කරමු.
දිගින් දිගටම අසාර්ථක ප්‍රයත්නයන්ම දරමින් මාධ්‍ය අවභාවිතා කිරීමෙහි තරම මොනවට පසක් කළ ඇතැම් කුලීකාර මාධ්‍ය කිහිපයට අවධාරණය කළ යුත්තේ මෙරට ක්‍රියාත්මක ශිෂ්ටසම්පන්න මාධ්‍යයන්ගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසයි.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක

සබැඳි පුවත් :
සජබ රාජිතගෙන් කරුණු විමසයි - ෆේස්බුක් සටහන බලන්න රාජිත කියයි !
ජාතික ආණ්ඩුවක් හදන්න සජබ පෙරමුණ ගත යුතුයි ! - රාජිතගෙන් විශේෂ ප්‍රකාශයක්
සජිත්ව අගමැති කරන්න ජනපතිට පණිවිඩ ගෙනිච්චේ නැහැ - මනෝ ගනේෂන්