පසුගියදා කොළඹ දී අපූරු උත්සවයක් පැවැත්විණ. එම උත්සවයේ පිළිගැනීම, ආගමික වතාවන්, නිවේදනය, සංගීතය, නර්තනය යනාදී සියල්ල සිදු කළේ නිවුන් සොයුරු, සොයුරියන් වීම එම අපූර්වත්වයට හේතුවය.
"රූපය සහ ගති පැවතුම් එක වගේ නිසා අපේ අම්මාට පවා අපි දෙන්නව වෙන වෙනම හඳුනගන්න එක අමාරුයි. අවුරුදු දහතුනේදි තමයි අපේ දෙන්නා එකට පැවිදි බිමට ඇතුළත් වුණේ," උත්සවයේ ආගමික වතාවන් සඳහා පැමිණ සිටි පදියපැලැල්ලේ විපුලසාර සහ පදියපැලැල්ලේ සුගතසාර තරුණ හිමිවරු කියා සිටියහ.
"නිවුන් ස්වාමීන් වහන්සේලා දකින්න ඉන්නේ අඩුවෙන් නිසා ගොඩක් අය අපි දෙන්නව එකට දකින්න කැමතියි," උන්වහන්සේ කියා සිටියහ.
මෙලෙස උත්සව ශාලාව පිරීගොස් තිබුණේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිවුන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෙනි. සියළු නිවුන් සොයුරු සොයුරියන් සමාන පෙනුම ඇත්තන් නොවුව ද, මෙම උත්සවයේ දකින්නට ලැබුණු නිවුන්නු බොහෝදෙනා සමාන පෙනුම ඇත්තන් වූ බැවින් ඔවුන් එකිනෙකා වෙනම හඳුනාගැනීම එතරම් පහසු නොවීය.
අප සමග අදහස් දැක්වූ පදියපැලැල්ලේ විපුලසාර හිමියන් සහ පදියපැලැල්ලේ සුගතසාර හිමියන් වෙන වෙනම හඳුනාගැනීම ද ඉතාම දුෂ්කර කටයුත්තකි.
"අක්ක ටිකක් සැරයි. ඉතින් ඉස්කෝලේ යන කාලේ කාටහරි ගැහුවම මම තමයි අහුවෙන්නේ. අපි වැඩ කරන හොස්පිටල් වෝඩ් එකෙත් එහෙම පැටලිලි වෙනවා," පෙනුමෙන් වෙන් කොට හඳුනාගත නොහැකි හෙද නිලධාරිනියන් වන කසුනි රවීනා ජයරත්න සහ හිරුනි වනීෂා ජයරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියහ.
ඔවුන් දෙදෙනාම හෙදියන් ලෙස රත්නපුර රෝහලක සේවය කරන අතර රෝගීන්ට හඳුනා ගැනීමේදී ප්‍රශ්න ඇතිවෙන නිසා මේවන විට ඔවුන් වෙන වෙනම වාට්ටු සඳහා අනුයුක්ත කර තිබේ.
එකම දිනයේ යුද හමුදාවට බැඳී එකම පාඨමාලාව හදාරා එකම දිනයේ මේජර් ජනරාල් නිලයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජයන්ත සෙනවිරත්න හා පූරක සෙනවිරත්න මේජර් ජනරාල්වරුන් ද මෙම උත්සවයට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිවුන් සංවිධානය මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ඔවුන් මේ දිනවල සූදානම් වන විශේෂ කටයුත්තක් සඳහා ආරම්භයක් ලෙසිනි.
ඔවුන්ගේ උත්සහය ලොව වැඩිම නිවුන්නු සංඛ්‍යාවක් සහභාගිවන උත්සවය පවත්වා ගිනස් වාර්තාවක් බිහි කිරීමය. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ මෙම සංගමයේ 1993 වසරේදී පිහිටුවීමට පුරෝගාමී වූ උපුලී ගමගේ සහ චමලි ගමගේ විසිනි.
"යුද ගිනි නිවාලමු ලොවට මනුෂ්‍යත්වය වපුරවමු," යන තේමාව යටතේ පවත්වන මෙම නිවුන් සම්මේලනය 2020 ජනවාරි 20 වන දින පැවැත්වීමට දැන් කටයුතු සුදානම් වෙමින් පවතියි.
මේ සඳහා ගිනස් ලෝක වාර්තා කමිටු සාමාජික කණ්ඩායම 2020 ජනවාරි 19 වන දින ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය පවසයි.
චිත්‍රපට, ටෙලිනාට්‍ය හා වෙළෙඳ දැන්වීම් රැසකට සිය රංගන දායකත්වය සපයමින් ජනප්‍රියත්වයක් හිමිකරගත් කලාකාරිනියන් දෙපලක වන උපුලි සහ චමලි සහෝදරියන් සීමිත පිරිසකගෙන් ආරම්භකර ඇති මෙම සංවිධානයට අදවන විට ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සහ සෑම ජන කොට්ඨාසයක්ම නියෝජනය කරන පරිදි නිවුන්නු 28000 ක් පමණ සම්බන්ධ වී සිටින බව ඔවුහු පවසති.
මේ වනවිට ලොව වැඩිම නිවුන් ප්‍රජාවක් සහභාගිත්වයෙන් පැවැති සම්මේලනය සඳහා ලෝක වාර්තාව හිමිකරගෙන සිටිනේනේ තායිපේ නගරය විසිනි. 1999 වසරේ නිවුන් යුගල 4002ක් එකතුවී එම ගිනස් වාර්තාව පිහිටුවන ලදි. නිවුන් යුගල 3961ක්, තුන් නිවුන් යුගල 37ක්, සිව් නිවුන් යුගල 4ක් එම වාර්තාව පිහිටුවීමට සම්බන්ධවී තිබේ.
එම ලෝක වාර්තාව ශ්‍රී ලංකාව සතුකර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට රුකුලක් ලබාදීම 'ශ්‍රී ලංකා නිවුන්' සංවිධානයේ අපේක්‍ෂාවය.
"අපි බලාපොරොත්තු වෙනවා නිවුන් යුගල 5000ක් එකට එකතුකර මේ වාර්තාව ශ්‍රී ලංකාවට දිනාගන්න. දැනටමත් මේ සම්බන්ධයෙන් වැඩකටයුතු සිදුකර ගෙන යනවා. විදේශයන්හි සිටින නිවුන් අයත් මේකට සම්බන්ධ වෙන්න කැමැත්ත පළකරලා තියෙනවා," උපුලී ගමගේ බීබීසි සිංහල සේවයට කියා සිටියාය. 
සංවිධායකයින් ගෙන් ඉල්ලීමක් :
එළෙඹෙන 2020 ජනවාරි මස 20 වන දින ශ්‍රී ලංකාව ඉතාමත් සුවිශේෂී කටයුත්තකට අත ගැසීමේ අරමුණින් දැන් කටයුතු අරඹා ඇත. ඒ ලොව විශාලතම නිවුන් හමුවයි. එම අවස්ථාව වඩාත් සුවිශේෂී වන්නේ එය හුදෙක්ම නිවුන් හමුවක් නොවී ගිනස් ලෝක වාර්තාවක් බිහිකරන හමුවක් නිසාය.
එළඹෙන ජනවාරි විසි වන දා සුගතදාස ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට කටයුතු සුදානම් කර මෙම ජාතික කටයුත්ත සඳහා සංවිධායකයින් සමස්ත ලක්වාසීන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර දිවයින පුරා විසිර සිටින සියලුම වයස් කාණ්ඩයන්හි වන නිවුන් පුද්ගලයන් අතර මෙම පණිවුඩය බෙදාලමින්, සමාජගත කරමින් එම දායකත්වය ලබාදිය හැක.
එමගින් වැඩි නිවුනුන් සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී කර අපේක්ෂිත ගිනස් ලෝක වාර්තාව බිහිකිරීමේ අනඝි අවස්ථාව සඳහා ඔබටද සම්මාදම් විය හැක. මෙය හුදෙක්ම ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් කරනා කටයුත්තක් නොවේ , එම උත්සහය හරහා දේශීය විදේශීය අවධානය ලබාගනිමින් දුෂ්කරතා තුල ජිවත්වන, අවශ්‍යතා සහිත නිවුන් දරුවන් ඇතුළු නිවුන් ප්‍රජාවගේ ජීවන පැවැත්ම සුරක්ෂිත කරමින් ඔසවා තබන්නට ගන්නා උත්සහයකි.
ලොව බොහෝ රටවල අගහිඟකම් ඇති නිවුන් ප්‍රජාව සඳහා ජාතික වශයෙන් බොහෝ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක වුවද අපේ රටේ එවැන්නක් නොමැත. එවැනි පසුබිමක මෙම වැඩසටහන නිවුන් ප්‍රජාවට යහපතක් කිරීමේ අරමුණින් " ශ්‍රී ලංකා නිවුන් සංවිධානය" ගන්නා උත්සහයකි.
මෙම කටයුත්තට දායක වීමට ඔබ දන්නා සහ නෙත ගැටෙනා නිවුන් පුද්ගලයන් කැමති නම් උප්පැන්න සහතිකයේ සහතික කරන ලද පිටපතක් සමග එදින උදෑසන 8.00ට සුගතදාස ක්‍රීඩාංගණය ට පැමිණීමෙන් හෝ පහත ලින්ක් තුලින් වැඩි විස්තර ලබා ගැනීමෙන් අප සමග එක්විය හැක.
කෙතරම් රාජ්‍ය අනුග්‍රහය ලැබුණ ද මේ සඳහා සෘජුව ජනතාවට පණිවිඩය ගෙන යාහැකි ඔබගේ දායකත්වය තරම් ඒ කිසිවක් මිල කළ නොහැක. මේ ජාතික කර්තව්‍ය සඳහා නිවුන් හා නිවුන් නොවන ඔබගේ දායකත්වය ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ අපි බලාපොරොත්තු වන්නෙමු.
අමතන්න
778510282 / 0778360626
https://www.facebook.com/
https://srilankatwins.org
(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)






