ඉදිරි මාස කිහිපය තුලදී යළි දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පවසන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්,

ඒ වැනි තත්වයක් තුළ මතුවන ජනතා විරෝධය පාලනය කිරීම සඳහා විකාශන අධිකාරි පනතක් ගෙනඒමට ආණ්ඩුව කඩිමුඩියේ කටයුතු කරමින් සිටින බව පවසයි.

ඊට එරෙහිව අධිකරණය වෙත යන බවද සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියි.  

ඔහු එබව කියා සිටියේ අද (01) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

ජනවරමට පිටුපාලා මේ වගේ දේවල් කරන්න ඉඩ දිය යුතු ද?

'' අරගලය ආපු හේතු අමතක කරලා, අරගලය මර්දනය කළායින් පස්සේ ඒකාධිපති වාදයෙන් තමයි මේ රට පාලනය කරන්න උත්සාහ කරමින් ඉන්නේ.
ඉස්සෙල්ලම ගෙනාවා පුනරුත්ථාපන අධිකාරී පනත කියලා. මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක විසි වුණා. ඊට පස්සේ ත්‍රස්ත විරෝධී පනත ගේන්න බැලුවා. ගේන්න බැරි වුණා. ඊට පස්සේ මහ බැංකු පනත ගේන්න හැදුවා. ගේන්න බැරි වුණා. ඊට පස්සේ දැන් ගේන්න හදනවා විකාශන අධිකාරි පනත.

මෙතෙක් තිබුණ ආණ්ඩු මාධ්‍ය පාලනය කරන්න උත්සාහ කළේ, ජනතාවගේ කටවල් වහන්න උත්සාහ කළේ, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පාලනය කරන්න උත්සාහ කළේ, ජාතික ආරක්ෂාව කියන වචනය පාවිච්චි කරලා.

දැන් අලුත් වචනයක් එකතු කරලා තියෙනවා ජාතික ආර්ථිකය කියලා. දැන් මේ ජාතික ආර්ථිකය කියන එකට අර්ථ නිරූපණයක් දීලා නැහැ. එතකොට ජාතික ආර්ථිකය විනාශ කරපු එවුන්ට කිසිම දඬුවමක් නැහැ. ජාතික ආර්ථිකයේ කාබාසිනියා කරලා රට බංකොලොත් කරපු එවුන්ට කිසිම දඬුවමක් නැහැ. හැබැයි ආණ්ඩුව දැන් විකාශන අධිකාරි පනත ගෙනල්ල, පළවෙනි එක මාධ්‍ය ආයතන පාලනය කරන්න. දෙවෙනි එක මාධ්‍යවේදීන් පාලනය කරන්න. තුන්වෙනි එක මාධ්‍ය වාර්තාකරණය පාලනය කරන්න. හතරවෙනි ඒක ජනතාවට ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පාලනය කරන්න වගේම, පස්වෙනි එක ආණ්ඩුවට ඕන ඕන නිවුස් ප්ලාන්ට් කරලා ජනතාවගේ මනස විකෘති කිරීමේ ඒකාධිපති ව්‍යායාමයකට තමයි මේ විකාශන අධිකාරිය අධිකාරිය පනත ගැනෙමින් පවතින්නේ .

අපි ඉතා පැහැදිලිව කියනවා 1997 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවත් මේ සෙල්ලම කරන්න ආවා. මේ පනත විසි වුණා. ඊට පස්සේ ඒ ආණ්ඩුව මොකද කළේ, තමන්ට අකමැති මාධ්‍ය ආයතන, තමන්ට අකමැති මාධ්‍යවේදීන්  මර්දනය කළා. අපිට මතකයි මාධ්‍ය ආයතන වලට තර්ජනය කළා. ඊට පස්සේ මාධ්‍ය ආයතන වට්ටන්න රජය සතු වෙළෙඳ දැන්වීම් ලබාදීම නවත්වලා වාරණයක් ගෙනිච්චා.

අපි පැහැදිලිව පිළිගන්නවා මාධ්‍ය නිදහස කියන්නේ වල්බූරු නිදහසක් නෙමෙයි. මෙතෙක් දක්වා 1982 දී රූපවාහිනිය පටන් ගත්තු දා ඉඳලා මේ දක්වා අවුරුදු 41 ක කාලය තුළ මාධ්‍ය වැරදි දේවල් වාර්තා කරලා තියෙනවානම්, මාධ්‍යවේදීන් වැරදි දේවල් වාර්තා කරලා තියෙනවා නම්, වර්තමාන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ තියෙන නීති රීති ප්‍රතිපාදන අනුව කටයුතු කරලා තියෙනවා. අපිට මතකයි එක්තරා මාධ්‍ය ආයතනයක ගුවන් විදුලි නාලිකාවේ වැරදි තොරතුරක් වාර්තා කරලා විකාශනය නැවැත්තුවා. මේ කරන්න හදන්නේ පුද්ගලයෝ පස්දෙනෙක් අල්ලේ නටවන අය දාලා තමන්ට ඕන ඕන විදිහට ඒක හසුරුවන්න. අපි කියන්න කැමතියි ජන වරමක් නැති ජනාධිපති  ජනවරමක් නැති ආණ්ඩුවක් එක් , ජනවරමට පිටුපාලා මේ වගේ දේවල් කරන්න ජනතාව ඉඩ දිය යුතුද?

'' මේක ඒකාධිපති හිට්ලර් මානසිකත්වය''

අනිත් අතට ගමේ ප්‍රාදේශීය සභාව නැහැ. එතකොට මදුරුවන්ට තෙල් ගහන එකේ ඉදලා කානු සුද්ද කරන එක, පාරට ලයිට් එකක් දාන එක කැඩිච්ච පාරක් හදන එකේ  ඉදලා සියල්ල නිලධාරීවාදයට ඉඩ දීලා තියෙනවා. මහජනතාවට වග නොකියන,  මාසේ පඩියට සේවයට වාර්තා කරන අයට ඉඩ දීලා තියෙනවා. ඊළඟට පළාත් සභා ටික නැහැ. අද මේ රටේ පාසල් වලින් සියයට අනුවක් අයිති පළාත් සභාවට. මේ රටේ ඉස්පිරිතාල වලින් සියයට අසූවකට වඩා  අයිති පලාත් සභාවට . මේ රටේ පළාත් පාලන ආයතන සියල්ල අයිති පළාත් සභාවට. දැන් මේ පළාත් සභාවට මහජන නියෝජිතයින් පත් කරන් නැතුව, ජනතාවට වග කියන අය පත් කරන්නේ නැතුව, පළාත් නාමයට ජනාධිපති විසින් පත් කරන පුද්ගලයෝ නම දෙනෙක් දාලා ලංකාවෙ තියෙන සියලුම පාසල් ඉස්පිරිතාල, පළාත් පාලන ආයතන පාලනය කරන්න යනවා . මේක ඒකාධිපති හිට්ලර් මානසිකත්වය.

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරල තොරතුරු දැනගැන ගැනීමේ අයිතිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහමුලින්ම විනාශ කරනවා නම් ජනතාව ඒකට  විරුද්ධ විය යුතුයි. ඒ නිසා අපි කියන්න කැමතියි මේ අනු කමිටුව ගෙනාවට පස්සේ අපි අනිවාර්යෙන් උසාවියට යනවා . මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන්  දෙකක් නැහැ. ඒ වගේම පොහොට්ටුවේ සමහර කණ්ඩායම් හොරගල් අහුලනවා. ඒ අය දන්නවා මේවා ප්‍රජාතන්ත්‍ර ප්‍රජාතන්ත්‍රවිරෝධී මේවට අතඋස්සල ආයෙ ගමට එන්න බැහැ කියලා.

අපි ලෝකයත් එක්ක එකතු වෙනවා විනා ලෝකයෙන් වෙන් වෙන්න බැහැ. ඇයි මේ දූපත් මානසිකත්වයෙන් හැසිරෙන්න යන්නේ. මේ දූපත් මානසිකත්වයේ ම වෙනත් පැත්තක් තමයි රඟ දැක්වූයේ පහුගිය කාලයේ IMF එකත් එක්ක තියෙන ප්ලග් එක ගලවනවා. මේක අපේ රට අපිට ඕන විදිහට තමයි කරන්නේ කියලා කෙලවගත්තා මතක නැද්ද? ඒවගේම තමයි වෙනත් අර්ථයකින් මේ ලෝකෙම විවරවෙලා තියෙද්දි, ලෝකයේම තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වෙලා තියෙද්දී, ලෝකයේ ම මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට ඕනෑම රටක හතරවෙනි ආණ්ඩුව බවට පත්වීමේ නිදහස ලබාදීලා තියෙද්දි, ඒ වගේම ඒ අනුව තොරතුරු මත පදනම්ව ජනතාව update වෙන දියුණු ආර්ථිකයක් ඇති වෙද්දි අන්න ඒක තමයි ජාතික ආර්ථිකය කියලා කියලා කියන්නෙ. ජනතාව update වෙන්න ඕන, ඒකට තොරතුරු තියෙන්න ඕන. තොරතුරු දෙන්න මාධ්‍ය නිදහස තියෙන්න ඕන. ඒක නිසා ඒක වාරණය කරලා කරන්න බැහැ.

 අපි හිතනවනම් ජනවරම බලෙන් ගන්න පුළුවන් කියලා, මම හම්බ වෙන්නේ නැහැ කාටවත්. පොහොට්ටුව හිතනවනම් පොහොට්ටුවට නැතිවෙලා ගිය ජනවරම  ගන්න පුළුවන් කියලා බලෙන්, එහෙම ගන්න බැහැ. බලෙන් පාලනය කරලා. අපි දැක්කා 2015 දී සීගිරි පර්වතයට වැඩිය උස කටවුට් ගහගෙන, සිල් රෙදි බෙදලා මෝටර් සයිකල් බෙදලා, හට්ටි මුට්ටි වළං ඔක්කොම බෙදලා, මහින්ද මහත්තයා පැරදුණා නේ.

අපි හිටපු ආණ්ඩුවේ අපි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කරලා, ගම්පෙරළිය කරලා, අපි පැරදුනා නේ. ජනතාවට ලැබුණු තොරතුරු මත පදනම්ව තමයි  වෙන්නේ. ඇයි වැරදුනේ.

2019 දී විකාශන අධිකාරී පනත තිබුනානම් මාධ්‍ය ආයතන කීයක් වහන්න සිද්ද වෙලා ද? එහෙනම් අද කීදෙනෙක් පුද්ගලයෝ අත්අඩංගුවට පත් වෙලා තියෙන්න ඕනද? එහෙනම් හද මාධ්‍යවේදීන් කීදෙනෙක් සිරගත වෙලා තියෙන්න ඕනද? ආගම්වාදය අවුස්සන්න ජාතිවාදය අවුස්සන්න කුමන්ත්‍රණය කරන්න විවිධ දේවල් සිද්ධ වුණා. ඒකෙන් බැට කෑවේ අපි පොහොට්ටුව නෙවෙයි. මං දැක්කා ඊයේ  සාගර කාරියවසම් කියනවා මාධ්‍ය නිදහස පාවිච්චි කරන්නේ රාජපක්ෂලාට බනින්නයි චෝදනා කරන කියලා.  බනින්න නෙමෙයි ඒගොල්ලො ඉන්න ඕන හිරේ මේ වෙනකොට. මේ රටට කරපු අපරාදේ එළිදක්වන එක නවත්වන්න මාධ්‍ය පාලනය ගේන්න හදනවා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා කියල දුන්නේ ඔබතුමා. ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම කියලා දුන්නේ ඔබතුමා. ලෝකය එක්ක එකතුවෙලා වැඩ කළ යුතුයි දූපත් මානසිකත්වයෙන් ගොඩ යන්න බැහැ ජාත්‍යන්තරය එක්ක සහයෝගයෙන් වැඩ කිරීමෙන් පමණයි ගොඩ යන්න පුළුවන් කියලා කියල දුන්නේ ඔබතුමා. අපි විශ්වාස කළා ඒ වෙලාවේ ලෝකයාගේ පිළිගැනීම  තියෙන නායකයෙක් විදිහට ඔබතුමා කටයුතු කළා. මට හරි පුදුමයි මැරිල ඉපදිලා ද ඔබතුමා කියල.

පුටුව කාට හරි මේක කරන්න උවමනාවක් තියනව නම් ඒකට ඔබතුමා මෙහෙම ඉඩ දෙන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. ජනාධිපතිතුමාගෙයි අපෙයි වෙනස මොකක්ද? ආර්ථික ප්‍රතිපත්ති වල ලොකු වෙනසක් නැහැ. අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රතිපත්ති වල ලොකු වෙනසක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපිට ලොකු වෙනසක් තිබ්බෙ නැහැ. හැබැයි ජනාධිපතිතුමා පොහොට්ටුවේ  ඡන්දයෙන් ජනාධිපති වුණාට පස්සේ, ඔහු අනීතික විදිහට හැසිරෙන එක තමයි අපිට වඩා තියෙන වෙනස. සාමාන්‍ය පොදු ජනතාව ගැන අනුකම්පාවක් නැති එක තමයි අපේ වෙනස. සමාජයේ පල්ලෙහා ම ජීවත්වන මිනි වන මිනිහා විදින දුක පීඩාව , දරුවන්ගේ අනාගතය ගැන හූල්ලන එක නොතේරෙන එකයි වෙනස. ලොකුම වෙනස තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ දේශනා කරල, ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දාලා, මාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය නැති කරන එක.

මේ කරන්න හදන්නේ කටවල් ඔක්කොම වහලා තමන්ට කැමති නිවුස් විතරක් plant කරන එක. ඉස්සර ITN එකේ ගියේ තිර පිටපත කියලා , මහින්ද අබේසුන්දර කියලා කෙනෙක් ගේ. රෙදි  ගලවාගෙන කඩේ ගියේ. මේ ඒ වගේ වැඩක්  කරන්න හදන්නේ. රජයේ මාධ්‍ය ආයතන විවිධ ආණ්ඩු වලට රෙදි ගලවං කඩේ ගිහිල්ලා මොකද්ද වෙලා තියෙන්නේ. මිනිස්සු බලනවද අහනවද ඒවා. ඒ නිසා තමයි මහා භාණ්ඩාගාරයෙන් පඩි ගෙවන්න වෙලා තියෙන්නේ. ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වහන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනත් තරගකාරී වෙළෙඳ පොලට එන්න ඉඩ දෙන්න. මේ වෙළෙඳපොළ තරගකාරිත්වය වැඩි කිරීම හරහා ජනතාවට තව තවත් තොරතුරු අපක්ෂපාතීව දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න කියලා. ඒ හරහා ඒ මාධ්‍ය ආයතන වලට තමන්ගේ තමන්ගේ ප්‍රේක්ෂක ප්‍රමාණය ශ්‍රාවක පිරිස ප්‍රමාණය වැඩි කරලා පෞද්ගලික අංශයේ වෙළඳ දැන්වීම් ලබාගෙන ආණ්ඩුවේ මහා භාණ්ඩාගාරයෙන් ආධාර ගන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනකට පත් කරන්න කියලා.

ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි මේ ඔක්කොම කැරකෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි. දැන් මම මේක කිව්වහම යූඑන්පිය ට කඩේ යන ෆේස්බුක් වීරයෝ මට ගහයි. මට ගානක් නෑ ඒක.

දැන් පෙට්‍රල් චුට්ටක් අඩු වෙනවා. ඊයේ රෑ රුපියල් 15කින් අඩු වුණා. ලෝක වෙළෙඳ පොළේ පෙට්‍රල් අඩු වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක රුපියල් 40කින් අඩු කරන්න තිබ්බා. ඒ පිළිබඳව සාකච්ඡාවක් ගියා කියලා ආරංචියි. පොඩ්ඩ පොඩ්ඩ රුපියල් 15 කින් පෙට්‍ර්ල්  අඩු කරනවා. ඊළඟ සතියේ රුපියල් සීයකින් ගෑස් එක අඩු කරනවා. ඊට පස්සෙ තව එකක් පොඩ්ඩක් අඩු කරනවා. හැබැයි මේවා අවුරුදු 2කට කලින් තිබ්බ ගාන මතක නැහැ.

සන්දර්ශන දැම්මට මහ පොළොවෙ ජනතාව අතරට ගියහම, මහජන නියෝජිත හැටියට අපි ජනතාව අතර තමයි ඉන්නේ. මිනිසුන්ගේ ගෙවල්වලට යනවා තේ එකක් බොනවා. ඒ මිනිස්සු ජීවත් වෙන විදිය පිළිබඳ අවබෝධයක් තියෙනවා. අන් කවරදාකටත් වඩා මේ අවුරුද්දේ මිනිස්සු අපිට ඇවිල්ලා කියන දේවල් එක්ක,  ආත්ම ගෞරවයත් එක්ක මෙච්චර දවසක් අල්ලන් ඉඳලා, බැරිම තැන ඇවිල්ලා කියන දේවල් එක්ක බිම් මට්ටමේ තත්වය අපිට පේනවා .ළමයින්ව අද tution යවන්නේ නැහැ ඇඳුම් පැළඳුම් මිලදී ගන්නේ නැහැ. සපත්තු සෙරෙප්පු මිලදී ගන් නෑ වැඩිය. කෑම බීම වලට priority . සමහර ළමයි ඉස්කෝලෙ යන්නෙත් නැහැ. මොකද සමහර පාසල් තියෙන ළමයි ත්‍රී විලර් වල යන්ඩ ඕන. බස් නෑ ඒ පාරවල් වල. කොළඹ කිට්ටු වත් තියෙනවා ඒ වගේ පාසල්. ත්‍රීවිල් එකේ ගෙනියන්න සල්ලි නැති උනහම ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. අඩු කරා අඩු කරා කියලා නාට්‍යයක් තමයි යන්නේ. අඩු කලාට දැනෙන්නේ නැත්තේ ඇයි ජනතාවගේ ආදායම් මාර්ග වැඩි වෙලා නැහැ.

අපි කරල තියෙන්නෙ මොකද්ද. ණය ගෙවන්නේ නැහැ. IMF එකේ සහයෝගයත් එක්ක යම් යම් ප්‍රමාණය ඉතුරු වෙලා තියෙනවා. මම ඒක නරකයි කියලා කිසිසේත් කියන්නේ නැහැ. හැබැයි දැන් IMF එකේ එකඟතාවය අනුව තව මාස තුන හතරක් යනකොට අපි ණය ගෙවන්න පටන් ගන්න ඕන. සමහරවිට ප්‍රාග්ධනය ගෙවන්න ඕන වෙන්නේ නැහැ මොනොටෝරියම් හම්බවෙයි.  අපි interest එක ගෙවන්න ඕන . එතකොට දැනට තියෙන ආදායමෙන් යම් ප්‍රමාණයක් dollar  එළියට යනවා. ඊළඟට ආනයනය අරින්න ඕන. එතකොට තව ඩොලර් ප්‍රමාණයක් එළියට යනවා. විදේශගත සුනඛයන්ගෙන් සහ සංචාරකයින්ගෙන් සුළු ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. එතකොට ණය ගෙවන්නයි ආනයනයටයි යන ඩොලර් ප්‍රමාණයට සාපේක්ෂව මේ වැඩිවීම මදි. Gap එකක් එනවා. මේ දක්වා අපනයන වැඩිම ආදායමක් ගෙනාව ඇඟලුම් වලින් සියයට දහඅටක් විස්සක් විතර අඩු වෙලා තියෙනවා. ඉදිරි මාස 6 තුළ ඒ ආදායම එන්නෙත් නැහැ. නැවත ආර්ථික අර්බුදය උග්‍ර වෙනවා .

ඒ අවස්ථාවේදී ඊට විරුද්ධව ජනතාව කතා කරන එක, දරුවන්ට කන්න බොන්න දෙන නැති වෙන එක ගැන කතා කරන එක , මිනිස්සුන්ට  ජීවත්වෙන දුකට විරෝධය දක්වන එක නවත්වන්න , ඒවා යම් කිසි මාධ්‍ය ආයතනයකින් හෝ සමාජ මාධ්‍යයෙන් හෝ ජනතාවගේ දුක ප්‍රදර්ශනය කිරීම පාලනය කිරීමට තමයි මේක ගේන්නේ. ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා මේක ඔබේ මූලික අයිතිවාසිකමක් . අපි උසාවි යන්නම්. හැබැයි ඔබ මේකට විරුද්ධ වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා''


 


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්