බටහිර වෙළඳපල විසින් දිගින් දිගටම මුදාහරින ආඛ්‍යාන ව්‍යාජය. ඒවා බටහිර රටවල සතුරු පාර්ශවයන් ගැන

සඳහන් අමූලික අසත්‍යය කාරණා වලින් පිරී ඇත. මෙය ඉතාම අවාසනාවකි. මෙහි නවතම උදාහරණය නම් රුසියානු සමූහාණ්ඩුව නිලවශයෙන් පිළිගෙන දේශීය මෙන්ම විදේශීය රටවල මෙහෙයුම් සහ සේවා කටයුතු සඳහා ස්ථානගත කොට ඇති පෞද්ගලික හමුදා සමාගම් අතරින් එක් ප්‍රධාන සමාගමක් වන වාග්නර් සමාගම ගැනය.

 

TELEMMGLPICT000337740610 16874593147180 trans NvBQzQNjv4BqnoUwCwXVn4LwErZ6GGyzhtHhMh81Y8GqX3ipA8YMo0k

වාග්නර් සමාගමේ ප්‍රධානියා වන ප්‍රිගොෂින් යනු ව්‍යාජ ජෙනරාල්වරයෙකි. විශාල වංචාවන් සිදු කිරීම සඳහා අවශ්‍යය කුඩා බොරු නිර්මාණය කිරීමෙහිලා ඔහු ඉතාම බුද්ධිමත් ය. ඔහුගේ අවසන් ඉලක්කය හැකි තරම් ලාභ ඉපැයීම පමණි. එසේ නොමැතිව ප්‍රිගොෂින්ට රුසියාව පාලනය කිරීමට අවශ්‍ය නැත.



ප්‍රධාන පෙළේ බටහිර ජනමාධ්‍යය ඉතාම අවලස්සන ආකාරයෙන් රුසියාවේ සහ එහි වත්මන් ජනාධිපති වැල්දිමීර් පුටින්ගේ මරණ සහතිකය ලිවීමට වාග්නර් සමාගමේ ප්‍රධානියාගේ හදිසි ජවනිකාව භාවිතා කිරීමට උත්සහ කළහ. නමුත් පැය හතළිස් අටක් වැනි කෙටි කාලයක් තුළදී එම බටහිර ආඛ්‍යානයන් සියල්ලම පාහේ දරුණු ලෙස අසාර්ථක වූවා පමණක් නොව ඊට තිබු පිළිගැනීම තවදුරටත් හීන විය.  

එක්සත් ජනපද පරිපාලනයද මෙම කැරැල්ල සම්බන්ධයෙන් මුල සිටම ඉදිරිපත් කළ අදහස් එකිනෙකට පරස්පර වීමෙන් ගම්‍ය වූයේ බයිඩන් පරිපාලනයට තවමත් රුසියානු සමාජ-දේශපාලන යථාර්තය අවබෝධ කරගැනීමට නොහැකි වී ඇති ආකාරයයි. නමුත් යුක්‍රේනය ප්‍රාණ ඇපයට තබමින් යුද්ධයෙන් උපරිම ලාභ ඉපයීමට එක්සත් ජනපද සමාගම් සමත් වී සිටිති. යුරෝපය පෙර නොවූ විරූ විනාශයක් වෙත තල්ලු වී ඇත. එක්සත් ජනපදය සුරක්ෂිතය. යුරෝපය අනාරක්ෂාවේ සහ දුක් විඳීමේ නූතන උදාහරණය බවට පත්වී තිබේ. එහෙත් රුසියාවේ භූ-දේශපාලනය නිවැරදිව තේරුම් ගැනීමට සතුරු පාර්ශ්වයන් තවමත් සමත් වී නැත.  

1677108070367
අප මේ කතා කරන්නේ කාල කලාප එකොළොහකින් සමන්විත වර්ග කිලෝමීටර මිලියන 17.1 ක ප්‍රමාණයකින් යුතු ලෝකයේ විශාලතම රාජ්‍යය සහ වසර විසි තුනක් තිස්සේ එම රාජ්‍යය අඛණ්ඩව පරිපාලනය කරන නායකයා ගැනය. ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින මිලියන 1.15කින් යුදු හමුදා බලඇණි වලට අමතරව සහ අවම වශයෙන් සංචිත නිලධාරීන් මිලියන දෙකක් සිටින ලොව පස්වන විශාලතම හමුදාව ඇති රට ගැනය.



රුසියානු හමුදාවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට අභියෝග කළ වාග්නර් පෞද්ගලික හමුදා සමාගමේ ප්‍රධානියා සහ ඔහු වටා ඒකරාශී වී සිටි දෙදහසක පමණ පිරිසක් මොස්කව් ආක්‍රමණය කොට ජනාධිපති පුටින් බලයෙන් පහකොට සමස්ථ රුසියාව සිවිල් යුද්ධයකට ඇද දැමීමට නියමිත බව බටහිර ප්‍රධාන පෙළේ ජනමාධ්‍යය වාර්තා කළේය.

භූමියේ පවතින සත්‍යය අමතක කළද මූලික ගණිතය ගැන අවබෝධයක් ඇත්තේ නම් එම ව්‍යාජ අර්ථකතන වලට නව ස්වරූපයක් ලබාදීමට ඔවුන්ට හැකියාව තිබුණි. එහෙත් හිතුවක්කාරී මමත්වය කේන්ද්‍ර කරගත් අධි මානසිකත්වයට සැබෑව අවබෝධ කරගැනීම සිහිනයක් පමණක් නොව සත්‍යය සෑම විට එහි පරම සතුරා වේ.

වාගනර් සමාගමේ ප්‍රධානියා වන යෙව්ගෙනි ප්‍රිගොෂින් කිසිඳු අවස්ථාවක ජනාධිපති පුටින්ට හෝ සමස්ථ පරිපාලනයට එරෙහි වූයේ නැත. ඔහුගේ පණිවිඩය වඩාත් පරෙස්සමින් විමසා එය සත්‍යය යැයි අනුමාන කළහොත් වැටහෙන්නේ ඔහු සහ ආරක්ෂක අමාත්‍යවරයා වන සර්ගෙයි ශෝයිගු අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඔහු තම විරෝධය සමාජය ඉදිරියට ගෙන ආ බවයි. එය සැබවින්ම මෙහෙයුම් වලදී නිල හමුදාවට ලැබිය යුතු ප්‍රසාදය පෞද්ගලික හමුදා ඛණ්ඩයකට ලැබීම නිසා සිදුවිය හැකි අතුරු ප්‍රතිඵලයක් විය හැකිය. එසේත් නොමැතිනම් වාග්නර් සමාගමට වසරක් ඇතුලත පමණක් මධ්‍යම ආණ්ඩුවෙන් ලාබා දී ඇති ඩොලර් බිලියනයකට අධික මුදල් කන්දරාව නිසා ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් විය හැකිය. ප්‍රිගොෂින් යනු ව්‍යාපාරිකයෙකි. ඔහු තම පෞද්ගලික හමුදාව භාවිතා කරමින් සුවිශාල මුල්‍යමය ආදායමක් ඉපැයූ ව්‍යාපාරිකයෙකි. ඇතැම් වාර්තා වලට අනුව ඔහුගේ පෞද්ගලික වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහකි.  

448fe6d 756742415800868 1

රාජ්‍යයේ වියදමින් නඩත්තු වන පෞද්ගලික සමාගම් සහ රාජ්‍යයේ රාජ්‍යය ආයතන අතර විවිධාකාරයේ ගැටුම් නිරන්තයෙන් ඇතිවීම ස්වභාවික වේ. මෙය රුසියාවට පමණක් ආවේණික ලක්ෂණයක් නොවේ. විශේෂයෙන් කණිෂ්ඨ බුෂ් පරිපාලනයේ සිට එක්සත් ජනපදය විසින් නායකත්වය දුන් ඊනියා "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට" සහය දුන් රටවල් බොහෝමයක් තුළ මෙම අර්බුදය හට ගැනුණි. එම රටවල් වලින් නඩත්තු කරනු ලැබූ පෞද්ගලික හමුදා සමාගම් ( කුලී හමුදා කල්ලි) සහ රාජ්‍යය හමුදා අතර ආරවුල් බොහෝ විය. ඊට මූලික හේතුව වූයේ මෙම පෞද්ගලික සමාගම් විසින් රාජ්‍යය සම්පත් භාවිතා කොට සුවිශාල අදායම් ඉපැයීම සහ ඔවුන් විසින් සිදුකරන මෙහෙයුම් පොදුවේ පිළිගන්නා ජාත්‍යන්තර නීතියට හෝ වගවීම් වලට නතු නොවීමයි. නමුත් රාජ්‍යය නිළධාරීන්ට මුහුණදීමට සිදුවන සන්තෑසිය ඊට හාත්පසින්ම වෙනස්ය. ප්‍රිගොෂින්ගේ විරෝධයද මේ හා සමාන කරුණු හේතුවෙන් හටගත් එකක් බව පෙනේ.


Russia Ukraine War 0 1687602325346 1687715326917
නමුත් මෙහිදී නිරීක්ෂණය කළ හැකි ඉතාම වැදගත් කාරණයක් වන්නේ ප්‍රිගොෂින් තම සීමාව ගැන අවබෝධයකින් කටයුතු කළ ආකාරයය. පැය හතළිස් අටක ජවනිකාවකින් පසු ඔහු පසුබැසීම සඳහා තෝරාගත් ප්‍රදේශයද ඉතා වැදගත් වේ. එසේම මෙහිදී ජනාධිපති පුටින්ගේ තීරණාත්මක ප්‍රතිචාරය තුළින් පැහැදිලි වූයේ ඔහුගේ නායකත්වය තවමත් ශක්තිමත් බවයි. ප්‍රිගොෂින් තමන්ට කෙතරම් කිට්ටු පුද්ගලයෙකු වුවද රාජ්‍යය ව්‍යුහය වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති පුටින් තීරණය කිරීම ක්‍රමෝපායිකය. මිත්‍රත්වයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂක අමත්‍යවරයා බලයෙන් පහකොට වාග්නර් ප්‍රධානියා සතුටු කිරීමට පුටින් තීරණය කළේ නම් එය රුසියානු සමාජය නියත වශයෙන්ම අනපේක්ෂිත දෙදරීමකට හේතු විය හැකිව තිබුණි. මිතුරා වෙනුවට පුටින් තම රාජ්‍යයේ නිළධාරීන්ගේ  ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේය. මන්ද ඔහුගේ පැවැත්ම ඇත්තේ එතැනය.

මෙහිදී දැකගත හැකි වූ තෙවන ප්‍රවණතාවය වූයේ ප්‍රිගොෂින් තම මිත්‍රයා වන ජනාධිපති පුටින්ට සහෝගය දක්වන වඩාත්ම විශ්වාසදායක දේශපාලනඥයා වන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ යෝජනා වලට සමපූර්ණයෙන්ම එකඟ වීමය. ඔහු බෙලරුසියාවට පසුබැස්සේද? එසේත් නොවේනම් දේශපාලනික වශයෙන් ඉතාම අස්ථාවර මට්ටමකට තල්ලු වී සිටින ලුකෂෙන්කෝගේ බලය ශක්තිමත් කිරීම සඳහා වාග්නර්  කුලී හමුදාව භාවිතා කළේද යන්න කාලය විසින් පිළිතුරු ලබාදීමට නියමිත කාරණයකි.



මෙම මූලික සිදුවීම් වලින් මතුවන ගැටලුව වන්නේ ගෙවුණු සති අන්තය තුළ රුසියාවේ සිදුවූයේ මනාලෙස තිර රචනය කරනු ලැබූ නාට්‍යක ජවනිකාවක්ද යන්නය. එය එසේ නම් කිලෝමීටර 1,084 ක් පමණ  දිගකින් යුතු බෙලරුසියානු-යුක්රේන මායිම අනාගතයේ ක්‍රියාත්මක කිරීමට නියමිත තීරණාත්මක යුද මෙහෙයුමක් සඳහා ශක්තිමත් කළේද යන සැකය යුද මෙහෙයුම් සහ ඒවායේ ක්‍රමෝපායන් ගැන සාමන්‍යය දැනුමක් ඇති අයෙකුට පවා ඇතිවේ.  

Cover Heft 20 / 2023

 යුද්ධය නමැති කලාවේ ප්‍රමුඛ ගුරුවරයෙකු ලෙස ලොවම පිළිගන්නා චීන ජාතික සුන් සූ තම යුද කලාව කෘතියේ සඳහන් කළ පරිදි , "සියලුම යුද්ධ පදනම් වී ඇත්තේ රැවටීම (මුලාව) මත ය. එබැවින්, අපට පහර දීමට හැකි වූ විට, අපට නොහැකි බව පෙන්විය යුතුය; අපි අපගේ හමුදාව භාවිතා කරන විට, අප අක්‍රීය බව පෙන්විය යුතුය. අපි ළඟින් සිටින විට, අපි දුරින් සිටින බව සතුරාට ඒත්තු ගැන්විය යුතුය. දුරින් සිටින විට, අප ළඟ සිටින බව සතුරාට ඒත්තු ගැන්විය යුතුය."


කෙසේ වෙතත් වාග්නර් "කැරැල්ල" තුළින් මතුකරනු ලැබූ බරපතළ සමාජ කාරණයක් තිබේ. එනම් පෞද්ගලික හමුදා සමාගම් විසින් රාජ්‍යයේ නිල හමුදාවට අභියෝග කිරීම නිසා ඇතිවිය හැකි ප්‍රභල සමාජ බෙදීමය. විශේෂයෙන් මේ වන විට රටවල් දෙකක් අතර නොව මතවාදීව සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක දෙකක් අතර යුද්ධයක් බවට පත්ව ඇති යුක්‍රේන - රුසියානු යුද්ධය තුළ ප්‍රිගොෂින්ගේ සිදුවීම රුසියාවේ පමණක් නොව කලාපයේ අනාගතයට වැදගත් වේ.

ප්‍රිගොෂින් සහ ඔහුගේ විශවාසවන්තයින් සමග බටහිර රටවල ඔත්තු සේවා සම්බන්ධ වූ බව ඇතැම් විශ්ලේෂකයින්ගේ මතය වේ. එසේම සී.අයි.ඒ., එම්. අයි. 6 ඇතුළු ප්‍රමුඛ ඔත්තු සේවා වලට වඩා රුසියානු එෆ්.එස්. බී. ඔත්තු සේවයේ උපායාන් සහ මෙහෙයුම්  තවමත් ඉදිරියෙන් ඇති බවත් ඒ නිසා වාග්නර් කුලී හමුදාවේ කටයුතු පෙර සිට දැනුවත් වූ බවත් ඇතැමුන් පෙන්වා දෙන කාරණයකි. විශේෂයෙන් මේ වන විට ලොව ප්‍රධාන ඔත්තු සේවාවල පාරාදීසයක් බවට රුසියානු - යුක්‍රේන යුද්ධය පත්වී ඇති බව නොරහසකි. මෙම යුද්ධය නිසා ඔත්තු සේවා වල සහ ප්‍රධාන පෙලේ සමාගම් වල පරාමිතීන් දිනෙන් දින වෙනස් වෙමින් තිබේ. විශේෂයෙන් මෙය ශීතල යුද්ධය සමයේ පැවති තත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්වයකි.

796279 Alleya geroev ChVK Vagner na Severnom kladbishte goroda Berezovskiy Sverdlovskaya oblasty chvk vagner 250x0 5972.3981.0.0

 එසේම වාග්නර් කැරැල්ල රුසියානු ජනතාව සහ එහි බහුතර සමාජ මතය ගැන අවබෝධ කරගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකිය. වාග්නර් කුලී හමුදාවට අසාමාන්‍ය ප්‍රසිද්ධියක් මෙන්ම ජන ප්‍රසාදයක් ඇති බව බොහෝ දෙනෙකු පිළිගන්නා කාරණයකි. අනෙක් අතින් ජනාධිපති පුටින්ගේ යුක්‍රේන ආක්‍රමණය ඔහුගේ මූලික තක්සේරුවට වඩා බෙහෙවින් දිග් ගැස්සෙමින් තිබෙන බව සත්‍යයකි. එහෙත් රුසියානු ඉතිහාසය පුරා මෙවැනි දිගුකාලීන යුද්ධ බහුලව වාර්තා වී තිබේ.  යුද්ධය අමිහිරි අත්දැකීමක් වුවද එය රුසියානුවන්ට අලුත් අත්දැකීමක් නොවේ. එසේම පුටින්ගේ නායකත්වයට අභියෝග කළ හැකි ප්‍රභල දේශපාලන විකල්පයක් තවමත් බිහි වී නැත. තමන්ට හිතැති විකල්ප බිහි කිරීමට අවශ්‍යය පරිසරය නිර්මාණය කිරීමට බටහිර රටවල් 1991 සිට උත්සහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත. එම අසාර්ථකත්වයට මූලික හේතුව වූයේ රුසියානු සමාජය තේරුම් ගැනීමට බටහිරට නොහැකි වීමයි.

 

සතුරු පාර්ශවයකට රුසියාව දුර්වල කළ හැක්කේ අභ්‍යන්තර ව්‍යුහය තුළ සිදුකරණ කඩා බිඳ දැමීමකිනි. හිටපු කේ.ජී.බී. මෙහෙයුම් නිලධාරියෙකු වන පුටින්ට ඒ ගැන මනා අවබෝධයක් තිබේ. පුටින්ගේ පරිපාලනය බිඳ දැමීම සඳහා පුටින් ගැන නිවැරදිව දන්නා පිරිසක් භාවිතා කළ යුතුය. ප්‍රිගොෂින් තම විරෝධය ප්‍රකාශ කරන විට යුක්‍රේනය වෙනුවෙන් සහයෝගය දක්වන බටහිර රටවල සහ ඒවායේ ජනමාධ්‍යය ප්‍රධාන අවධානයක් යොමු කරමින් ප්‍රිගොෂින්ට වීරත්වයක් ලබා දුන්නේ ඒ නිසාය. වාග්නර් පෞද්ගලික හමුදා සමාගමේ පැය හතළිස් අටේ විරෝධයෙන් මොස්කව් පරිපාලනය බිඳ වැටී රුසියාව සිවිල් යුද්ධයකට ඇද වැටෙනු ඇතැයි පුටින් විරෝධීන් අනුමාන කළේ ඒ නිසාය.

808156be7d404c9db14b050b5c68934cRussia Political Infighting 28278

එහෙත් එම තක්සේරුව හාස්‍යයට ලක්වන විට එක්සත් ජනපදය ඇතුළු රටවල් වාග්නර් කුලී හමුදාවේ කටයුතු වලට තම සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කළහ. එසේම දින නියමයක් නොමැතිව කල්දමා තිබු වාග්නර් සමාගම අප්‍රිකාවේ සිදුකරන ව්‍යාපාරික කටයුතු වලට එරෙහිව සම්බාධක පැනවීමේ කටයුතුද ආරම්භ කරන බව සඳහන් කළේය. එය සුපුරුදු බටහිර පිළිවෙතයි.

සාමන්‍යය ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් තම ධනය උපයාගන්නා කතිපයාධිකාරයින් (ඔලිගාර්ග්) බටහිර රටවල් පිටුපස දොරින් තම රටවලට කැඳවා ඔවුන්ගේ ධනය එම රටවලට ලබා ගනිති. මේ ආකාරයෙන් බටහිර රටවලට පැනගිය කතිපයාධිකාරයින් විශාල පිරිසක් බටහිර රටවල ජීවත් වෙති. ප්‍රිගොෂින්ගේ  උත්සහයද එවැනි පියවරක් තැබීමටද යන්න, මෙම සිදුවීමේ අවසන් සිනහව උරුම පුද්ගලයා හෝ කණ්ඩායම පමණක් දන්නා කාරණයකි.



කෙසේ වෙතත්, වාග්නර් කැරැල්ල සත්‍යයක් වුවද දීර්ඝ නාට්‍යක ජවනිකාවක් වුවද ඉන් ලබාදෙන පණිවිඩය වන්නේ පෞද්ගලික හමුදා නඩත්තු කිරීමෙන් රාජ්‍යයට මුහුණ දීමට සිදුවන අභියෝගයන්ය. රුසියානු ජනාධිපති පුටින් 2022 පෙබරවාරි මස 24 වැනිදා යුක්‍රේනයේ මෙහෙයුම් ආරම්භ කිරීමට වසර දෙකෙකට පෙර එක්සත්  ජනපදයේ බ්ලැක්වෝටර් නමැති කුලී හමුදාවේ ප්‍රධානියා එරික් ප්‍රින්ස් ජනාධිපති සෙලෙන්ස්කිගේ උපදේශකයින් ඇතුළු පිරිසක් කීව් නගරයේදී හමු වී  රුසියාවට එරෙහිව යුද වැදීම සඳහා තම පෞද්ගලික හමුදාව සූදානම් බව යෝජනා කළේය.

Masks Kadyrov Prigozhin Putin 800x450

එක්සත් ජනපදයේ ඉරාක ආක්‍රමණයෙදී ප්‍රථමවරට හෙළිදරව් වූ එරික්ගේ කුලී  හමුදාව අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක මෙහයුම් වලට දායකවිය. ඔහුට යුක්රේනයට යෑමට නොහැකි වුවත් රුසියාවට එරෙහිව යුද වැදීම සඳහා විවිධ පෞද්ගලික හමුදා සමාගම් මැදිහත් වී සිටිති. ඇතැම් සමාගම්වල සේවය කරන නිලධාරීන් දිනකට ඇමෙරිකානු ඩොලර් දෙදහසක පමණක් වැටුපක් ලබන බව වාර්තා වේ. මෙම මෙහෙයුම් වලින් ලබාගත හැකි මුදල් කන්දරාව කෙතරම්ද යන්න ඉන් පෙනේ.

නමුත් ඒවා නඩත්තු කිරීමෙන් රාජ්‍යයේ නිල හමුදාවන්ට සිදුවන හානිය සුළුපටු නොවේ. මේ නිසා, එක්සත් ජාතීන්ගේ සංවිධානය 1989 දෙසැම්බර් 4 වන දින කුලී හේවායන් බඳවා ගැනීම, භාවිතා කිරීම, මූල්‍යකරණය සහ පුහුණුවට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය සම්මත කර අත්සන් කිරීම සඳහා විවෘත කළේය. එය  2001 ඔක්තෝබර් 20 දින බලාත්මක කරනු ලැබීය. එහෙත් ලෝකයේ විශාලතම සහ ශක්තිමත්ම හමුදාවන් ඇති රාජ්‍යයන් වන එක්සත් ජනපදය, රුසියාව, චීනය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය මෙය අනුමත කර නැත. වඩාත් හාස්‍යය ජනක කාරණය වන්නේ, කුලී හේවායන් භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන් මෙම සම්මුතිය සම්මත කර ඇතත්, එම සංවිධානයද පෞද්ගලික හමුදා සමාගම් වල සේවාදායකයෙකු ලෙස පෙනී සිටීමයි. බටහිර බලවතුන් සහ ජාත්‍යන්තර සංවිධාන වල දෙබිඩි හැසිරීම මෙවැනි සිදුවීම් වලදී පැහැදිළිව දැකගත හැකිය.

b80ceb89af1c6d9751d3267fd2d1457c

2024 මාර්තු මාසයේ රුසියාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සීයට පනහකට වඩා ලබා ගැනීමට අපේක්ෂකයෙකු අසමත් වුවහොත් ජනාධිපතිවරණයේ දෙවන වටය පළමු වටය පවත්වා හරියටම සති තුනකින් පැවැත්විය යුතුය. 2020 සිදුකරනු ලැබූ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපති පුටින් මැතිවරණයට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි.  ඔහුගේ යුක්රේන ආක්‍රමණය සහ ඔහු විසින් කාලාන්තරයක් තිස්සේ නඩත්තු කරනු ලැබූ කුලී හමුදාවන් යුද්ධයේ සිදුකරණ තීරණාත්මක කාර්යය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සඳහා බලපානු ඇත. කෙසේ වෙතත් වාග්නර්  සිදුවීම සැබෑවක් වුවද, නාටයක ජවනිකාවක් වුවද එය අවසානයේදී ජනාධිපති පුටින්ගේ දේශපාලනයට නව අර්ථකතනයක් ලබා දීමට සමත් වී ඇත. කිසිඳු නායකයකු සදාකාලික නොවන බවද මෙහිදී අමතක නොකළ යුතුය.


pic nilantha ilangamuwa
(නිලන්ත ඉලංගමුව)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්