මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ වර්ග190ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඉදිරියේ දී ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයෙන් වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව පවසන අමාත්‍යවරයා, ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන ඇති බව ද කියා සිටියි.

මේ වසර අවසානයේදී ඖෂධ වර්ග විස්සක් මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවත්, ඖෂධ මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරය මුදල් ලබාදීමට එකඟවූ බවත් සෞඛ්‍ය ඇමතිවරයා අවධාරණය කර සිටියි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම කාරනා සඳහන් කර සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

"මේ මොහොත වනවිට අපේ මධ්‍යම ඖෂධ ගබඩාවේ තිබිය යුතු බෙහෙත්වලින් 190ක වගේ ප්‍රමාණයක් 800කින් අඩුව තියෙනවා. හැබැයි ආරෝග්‍යශාලාවල 90ක් වගේ තමා අඩුව තියෙන්නේ. මොකද අපිට මාසයකට විතර බෙහෙත් ඒ ආරෝග්‍යශාලාවල තියෙනවා. හැබැයි අපිට තාම පාලනය කරන්න පුළුවන් තැනක තියෙනවා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයටත්, ජනාධිපතිවරයාටත් විටින් විට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. හෙට කැබිනට් මණ්ඩලයට වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ විශ්වාසයක් තියෙනවා මේ තාවකාලිකව ඇතිව තිබෙන බෙහෙත් හිඟය නිවැරදි කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා." ඇමතිවරයා පැවසිය.

''අපට ලැබෙන තොරතුරු ඇමතිට නොලැබෙන්නේ ඇයි'' ? - රවී කුමුදේශ්

ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඇමතිවරයා කළ එම ප්‍රකාශය ගැන  අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුයේ, ඖෂධ වර්ග 200ක හිඟයක් සම්බන්ධයෙන් මිට ඉහතදී තම සංගමය කළ දැනුවත් කිරීම ඇමතිවරයා නොසලකා හැරී බවයි.

'' ඖෂධ 200ක් හිඟයි කියලා මීට මාස තුනකට කලින් කිව්වාම ඒ බොරු කියපු ඇමතිවරයාම, අද ඒක කියනවා. සෞඛ්‍ය ඇමතිවරයාට අපිට ලැබෙනෙ තොරතුරු පවා ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බලන්න වෙනවා'' රවී කුමුදේශ් වැඩිදුරටත් පැවසිය.


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්