පල්ලේගම සිරි සුමන රතනපාල හේමරතන නාහිමියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) සහ වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ බලවත් විරෝධය මධ්‍යයේ අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් සිකුරාදා (22) සැකකාර 71 හැවිරිදි භික්ෂුව මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මතය.
ළමා අපයෝජන චෝදනා ලැබ සිටින පල්ලේගම හේමරතන භික්ෂුවට මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දී තිබෙන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ සජීවනි අබේකෝන් විසින් සැකකාර භික්ෂුව සිදුකර ඇති වරදේ ස්වභාවයත්, එයට අදාල නෛතික රෙගුලාසි මෙන්ම එනිසාම ඇප ලබා දීමෙන් ඉදිරි විමර්ශනවලට යම් අගතිදායක තත්වයක් ඇති විය හැකි යැයි ද දීර්ඝව කරුණු දක්වමින් වාර්තාවක් ඉදිරිපත් කර තිබියදි ය.
එමෙන්ම සැකකාර භික්ෂුවට ඇප ලබා දීම පිළිබඳව කම්පාවෙන් යුතුව කතාකළ වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙක් ඒ පසුබිමේ දේශපාලන බලපෑමක් වේදැයි ප්‍රශ්න කර සිටී.
අපට කියවන්නට ලැබුණු පිටු 18 කින් යුත් අධිකාරියේ වාර්තාවේ ඉහළින්ම දැක්වෙන්නේ සිදුව ඇති අපරාධය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කොට කඩිනමින් සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගැනීමත්, චෝදනා ගොනු කිරීමත් පොලිසිය විසින් මගහැර ගොස් ඇති බවකි. එමෙන්ම අනවශ්‍ය ලෙස විමර්ශන කටයුතු ප්‍රමාද කිරීමට පොලීසිය ක්‍රියා කොට ඇති බවද එහි දැක්වෙයි .
"සැකකරු බලවත්, ඇප එපා"
" මෙවන් පසුබිමක් තුළ මෙම සැකකරුට ඇප ලබා දුනහොත් වින්දිත දැරිය සහ අනෙකුත් සාක්ෂිකරුවන් ද බලපෑමට ලක් වීමට වැඩි ඉඩක් පවතින බව අප අධිකාරියට නිරික්ෂණය වේ. තවද මෙම හිමිනම ආගමික, සමාජීය සහ ආර්ථික වශයෙන් ඉතා විශාල බලපෑමක් සිදුකළ හැකි අයෙකු වන අතර දැරිය දැඩි ආර්ථික දරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක බාලවයස්කාර දැරියකි. බැලු බැල්මටම පෙනෙන මෙම අසමමිතික බලය හමුවේ වින්දිත දැරියගේ සාක්ෂි හා අනෙකුත් සාක්ෂිකරුවන වෙත බලපෑම් එල්ල වීමට දැඩි අවධානමක් ඇති බව අප අධිකාරියට පෙනී යයි," යනුවෙන් අදාල වාර්තාවේ සඳහන් ය.
සැකකාර පල්ලේගම හේමරතන භික්ෂුව සහ වින්දිත දැරිය මුදලට අලෙවී කිරීමේ චෝදනාවට ලක්ව සිටින ඇගේ මවත් අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප ලබා නොදෙන්නැයි ඉල්ලා සිටියද සැකකාර පාර්ශවයේ කරුණු ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගෙන විනිසුරුවරයා විසින් සැකකරුවන්ට ඇප ලබා දුන් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂිකා නීතිඥ සජිවනි අබේකෝන් පැවසුවාය.
" වින්දිත දරුවා වෙනුවෙන් අධිකාරිය පැත්තෙන් මම කරුණු ඉදිරිපත් කෙරුවා. අපි ලිඛිතවත්, වාචිකවත් පැහැදිලි කළා සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් ඇති වෙන්න පුලුවන් තත්වය ගැන. නමුත් ගරු විනිශ්චයකාරතුමා ඇප දෙන්න තීන්දු කළා."
පොලිස් විමර්ශන වගකීම් විරහිතයි
ළමා අපයෝජන සම්බන්ධයෙන් චෝදනා ලබන සැකකරුවන්ට ඇප ලබා නොදීමේ නෛතික හැකියාවක් තිබියදීත් එසේ ඇප ලබා දෙන්නේ කෙසේ දැයි විමසීමේදි එය එසේ නොවන බවට පැහැදිලි කළ අධ්‍යක්ෂකවරිය ඇප පනත ප්‍රකාරව සැකකරුවකුට ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත්වරයා සතුවන්නේ යැයි ද කියා සිටියාය.
" ඇප පනතට අනුව ඇප දෙන්න බලයක් මහේස්ත්‍රාත්තුමාට තියෙනවා. නමුත් අධිකාරිය කරුණු ඉදිරිපත් කරේ මෙවැනි සැකකරුවකුට ඇප ලබා දුන්නොත් එයින් සමාජ කැළඹීමක් වගේම විමර්ශණවලට අගතියක් සිද්ධ වෙන්න පුලුවන් කියන තැන ඉඳලා. මොකද අපි දන්නවා පොලිසිය මොන විදිහටද මේ විමර්ශනය සිද්ධ කෙරුවේ කියලා. මුල් අවස්ථාවේ සිදු කරන්න ඕනේ කිසිම දෙයක් නිසි පරිදි සිදු වුනේ නෑ. ඒ නිසාමයි අධිකාරියට සිද්ධ වුණේ මෝසමක් දාලා මහේස්ත්‍රාත්තුමාට කරුණු කියන්න. ඊට පස්සේ තමයි හේමරත්න හාමුදුරුවන්ව සැකකරුවෙක් විදිහට නම් කෙරුවෙත්, උන්වහන්සේට විදෙස් ගමන් තහනමක් පැනවුවෙත්."
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබෙන වාර්තාවේ ඉතා පැහැදිලිවම දැක්වෙන්නේ සැකකාර හේමරතන භික්ෂුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදි පොලීසිය අවිධිමත්ව සහ වගකීම් විරහිතව කටයුතු කර ඇති බවකි.
" 2026.04.22 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබ ඒ පිළිබඳව කරුණු විමසන තෙක්ම මෙම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමක් නැති බවට කරුණු අනාවරණය වේ,"යනුවෙන් වාර්තාවේ සඳහන් ය. එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, "දැරියක් මුදලට විකුණා ස්ත්‍රි දූෂණයට සහ බරපතල ලිංගික අපයෝජනය කිරීමට අදාළව කරුණු වාර්තා කොට ඇති නමුත් එකී වරදවල් වලට අදාළව සැකකරුවන් නම් කිරීම සිදුකොට නොතිබූ අතර අදාල හිමිනමගේ විදේශ ගමන් තහනම් කිරීමක් ද සිදු කොට නොතිබුණු බවකි."
අපරාධය සම්බන්ධයෙන් විශ්වසනීය තොරතුරු ලැබි තිබියදීත් සැකකාර භික්ෂුව අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත වෙතින් ළිඛිතව කරුණු විමසා සිටියදීත් එයට පිළිතුරක් නොලැබුණු බවයි නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂකවරියගේ වාර්තාවේ දැක්වෙන්නේ.
පොලිසියට බලපෑම් සිදුවූ බවට වාර්තාවෙන් සැක මතු කර ඇති අතර පොලිසිය විසින් ගත යුතු ක්‍රියාමාර්ග ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරිය විසින් සතියක් තුල යවන ලද ලිපි දෙකකින්ම අනතුරු අඟවා ඇත්තේ වින්දිත දැරිය ප්‍රතිකාර ලබන රෝහලේ කාර්ය මණ්ඩලයටද සැකකාර හිමිනම බලපෑම් කර ඇති බවයි.
" තවද මෙම සැකකරු සම්බන්ධයෙන් පොලීසිය සාමාන්‍ය සැකකරුවකු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයෙන් නොව යම් විශේෂිත ආකාරයෙන් කටයුතු කොට ඇති බව” ඉතා පැහැදිලිව, තාර්කිකව මෙන්ම නෛතිකවත් මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වන අධිකාරියේ වාර්තාවෙන්, පොලිසියේ ක්‍රියාකලාපය දිගින් දිගටම දැඩිව විවේචනයට හසු කොට තිබෙන අතරම, එනිසාම මෙවන් අපයෝජන සිදුවීමක සැකකරුවකුට ඇප ලබා දීමෙන් ඉදිරියේ ඇති විය හැකි ඉදිරි තත්වයද පෑහැදිලි කොට තිබේ.
අටේ පන්තියේ දැරිය ගන්න රුපියල් ලක්ෂයක්
වින්දිත දැරිය සම්බන්ධයෙන් කම්පනයක් ඇති වන තොරතුරු බොහෝමයක් මෙම වාර්තාවේ අඩංගුවන අතර, ඉන් ප්‍රධානතම එකක් වන්නේ සැකකාර හේමරත්න භික්ෂුව විසින් දැරිය මවගෙන් ඉල්ලීමයි.
"හාමුදුරුවෝ මගෙන් දුව 08 පන්තියේ වගේ ඉන්න කොට මගෙන් ඇහුවා දුව එක්ක ඉන්න දෙනවද කියලා," යැයි මව කී බව වාර්තාවේ සඳහන් කොට තිබේ.
"එමෙන්ම සැකකාර භික්ෂුව විසින් දැරිවියව ආවාසය තුළට රැගෙන ගොස් කෙටි වෙලාවකින් දැරිය පිටතට පැමිණි බවත්, දැරියගේ මුහුණ ඇඹුල් වී තිබෙන නිසා තමන් ඒ පිළිබඳව ළමයාගෙන් විමසීමේ දී අදාල හිමිනම විසින් දැරියගේ මුහුණ ඉම්ඹ බවත් ළමයා විසින් පැවසු බවත් සඳහන් ය. තවද එදින මව වෙත අදාල හිමි නම විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දුන් බවත් ' පුතේ නැති බැරි කම නිසා තමා මේ සල්ලි ගන්නේ,’ යනුවෙන් තමන් වින්දිත දැරිය සමඟ පැවසු බවත් සඳහන්ව ඇත," යනුවෙන් වන සැකකාර මව ගේ ප්‍රකාශයක් අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබෙන වාර්තාවේ උපුටා දක්වා තිබේ.
ඉහෙන් බහින ලෙඩක් නෑ
සැකකාර භික්ෂුව පසුගිය නඩුවාර සෑම එකකදීම අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරුනු අතර, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රමුඛ විමර්ශන කණ්ඩායමේ අනුරාධපුරය තුන් දින සංචාරයෙන් අනතුරුව හෙතෙම කඩිනමින් කොළඹ විත් නවලෝක රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා නතර වී තිබේ. ඉන් අනතුරුව මෙම භික්ෂුව ව බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට කඩිනමින් මාරුකරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් කිහිප විටක්ම බන්ධනාගාර නිලධාරින් හට නියෝග කළද පසුගිය නඩු වාරය වෙන තෙක්ම එය සිදු නොවුණි.
“නිරන්තර පපුවේ රුදාව, දෑත් එසැවීමේ අපහසුව, දෙපා හිරි වැටීම පාවහන් නොමැතිව ඇවිද යාමේ නොහැකියාව, හිස රදය හා මළ පහ නොවීම,” යන රෝගාබාධ ඇතැයි පැමිණිලි කරමින් හේමරතන හිමිනම රෝහල් ගත වී ඇත.
නමුත් සැකකාර භික්ෂුවගේ ඇඳ ඉහපත් වාර්තා අධික්ෂණය කරමින් ඒවා මෙම වාර්තාවට ඇතුලත් කොට ඇති අධිකාරිය පවසන්නේ සැකකරුට ‘හදිසියේ රෝහල් ගත වීමට තරම් රෝගී තත්වයක් නොමැති’ බවයි.
"මෙම හිමිනම සැබවින්ම හදිසියේ ඇති වූ රෝගාබාධයකින් පෙළෙන්නේ දැයි කරුණු සොයා බැලීමට අධිකාරිය මගින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෙතින් හිමි නමට අදාල ඇඳ ඉහපත් සම්පූර්ණ පරික්ෂණ වාර්තාවක් කැඳවු අතර එය අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කළ අතර එම පරික්ෂණ වාර්තා අනුව මෙම වයසේ පුද්ගලයෙකුට තිබිය හැකි සාමාන්‍ය නිදන් ගත රෝග පමණක් ඇති බවත්, ඒවා බොහෝ කාලයක සිට පැවති රෝගී තත්වයන් බවත්, හදිසියේ රෝහල් ගත වීමට තරම් රෝගී තත්වයක් නොමැති බවත් එතුමාගේ මතය විය". යනුවෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක නිර්දේශයට අනුව 2026. 05.20 වන දින වන විට සැකකාර භික්ෂුන් වහන්සේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවූ බවත් ය.
මේ සියළු කරුනු කාරනා දක්වා සිටියද ස්වකීය අභිමතය මත යමින් අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ළමා අපයෝජන චෝදනා ලත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුව ඇප පිට නිදහස් කරන්නට නියෝග කරනු ලැබුණි.
‘ඇප දෙන්න බෑ, ඒත් දුන්නා’
පොලීසියේ බලවත් විරෝධය මධ්‍යයේම වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජ්‍යෙෂ්ට නීතිඥ අතුල රණගල ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයේ සාමාජිකයකු අප හා කියා සිටියේ ඇප තීන්දුව සමගින් සැමට සමාන නීතියේ රැකවරණය සහ යුක්තිය ඉටුවීම පිළිබඳව බලවත් ප්‍රශ්නකාරි හැඟිමකින් කම්පිතව සිටියේය.
"නීතිඥවරයෙක් විදිහට මට දැඩි කම්පාවක් ඇති වුණු සිද්ධියක් මේක. එක එක පුද්ගලයන්ව නීතිය ඉදිරියේ සැලකුම් ලබන්නේ එක එක විදිහට ද කියන එක මට හිතුනා. ඒක එහෙම වෙනවා නම් අපිට හිතන්න වෙන්නේ මේවා පිටු පස්සේ දේශපාලන බලපෑමක් තියෙනවා කියලා නේද? එහෙම සැකකරන එක අසාධාරණ නෑ නේද?" යි වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය නීතිඥ යාලිත විජේසුන්දර පැවසීය.
හෙතම වැඩිදුරටත් කියා සිටියේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන බව දැක්වුණද ශ්‍රි ලංකාවේ නීතියේ භාවිතාව තුළ එය එසේ නොවන බවට දශක දෙකකට ආසන්න තම නීතිඥ දිවියේ යළිත් වතාවක් තමන්ට දැක ගන්නට ලැබුණු බවයි. ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිඥ සජීවනී අබේකෝන්ගේ මැදිහත්වීම ඔහුගේ ප්‍රශංසාවට ලක්විය.
" නීතියේ සමාන සැලකුම් ලබන එක පුරවැසියන් සතු අයිතියක්. මේ නඩුව බරපතල ළමා අපයෝජන නඩුවක්. මෙහෙම නඩුවකට ඇප දෙනවා නම් පුරවැසියන් විදිහට අපිට මොකද්ද හිතන්න වෙන්නේ? පනත යටතෙත් මේ අපරාධයට ඇප දෙන්න බෑ. ඒත් පල්ලේගම හේමරත්න හාමුදුරවන්ට ඇප ලැබුණා. ඔය වරද සාමාන්‍ය මනුස්සයෙක් කරලා තිබුණා නම් ඇප ලැබෙයි ද? අපි දැක්කා ළමා ආරක්ෂක අධිකාරියේ නීතිඥවරිය දැඩි උත්සාහයක් ගන්නවා ඇප දීම වළක්වා ගන්න. ඒත් අවසාන තීරණය අධිකරණය සතු එකක්. නීතිඥවරයෙක් විදිහට විතරක්ම නෙමෙයි පුරවැසියෙක් හැටියටත් මට අහන්න තියෙන්නේ අපි හැමෝම නීතිය ඉදිරියේ සමාන නම් පල්ලේගම හේමරතන හාමුදුරවන්ට එක නීතියකුත් සාමාන්‍ය මනුස්සයෙකුට තව නීතියකුයි කියලා දෙකක් තියෙනවා ද කියන එකයි," යනුවෙන් නීතිඥ යාලිත විජේසුන්දර මහත් ආවේගයෙන් යුක්තව පැවසීය.
බාලිකාපචාරයට සැකකෙරෙන අටමස්ථානාධිපති නාහිමියන්ගේ නඩුව විභාග කෙරෙන අවස්ථාවේ දැඩි රැකවල් යොදා තිබූ අධිකරණ පරිශ්‍රයට අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක, අබේගිරිය රජමහා විහාරාධිපති මහාචාර්ය කල්ලංචියේ රතනසිරි, ලංකාරාමාධිපති රළපනාවේ ධම්මජෝති, ථූපාරාමාධිපති කහල්ලේ ඤාණින්ද හා ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද ඇතුළු සඟ ගණ වැඩම කොට සිටි බව පළාත්බද මාධ්‍යවේදීහු වාර්තා කරති.
(සටහන | කේ. විජේසිංහ)
මාධ්‍යවේදී
ඇප සරණින් ආවාසයට වැඩි අටමස්ථානාධිපතිට එරෙහිව උසාවියට පිටු 18ක වාර්තාවක්
T
The Leader Desk
May 23, 2026 • 6:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පල්ලේගම සිරි සුමන රතනපාල හේමරතන නාහිමියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) සහ වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ බලවත් විරෝධය මධ්‍යයේ අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
- අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් සිකුරාදා (22) සැකකාර 71 හැවිරිදි භික්ෂුව මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මතය.
- අපට කියවන්නට ලැබුණු පිටු 18 කින් යුත් අධිකාරියේ වාර්තාවේ ඉහළින්ම දැක්වෙන්නේ සිදුව ඇති අපරාධය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කොට කඩිනමින් සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගැනීමත්, චෝදනා ගොනු කිරීමත් පොලිසිය විසින් මගහැර ගොස් ඇති බවකි.
- එමෙන්ම අනවශ්‍ය ලෙස විමර්ශන කටයුතු ප්‍රමාද කිරීමට පොලීසිය ක්‍රියා කොට ඇති බවද එහි දැක්වෙයි .
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



