කොරෝනා වසංගතයෙන් ආතුර වී මියගිය ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීමට නිර්දේශ කළ නිලධාරීන් සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය ඇමැතිවරයා

එකග වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ජුලි 18 වැනිදා පාර්ලිමේන්තුවේදී එම එකගතාවය පළ කර ඇත්තේ විද්‍යාත්මක පදනමකින් තොරව කෝවිඩ් සමයේ මුස්ලිම් මළසිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔවුන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසත්, ඔවුන් සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් විමර්ශනයක් පවත්වන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සිදු කළ ඉල්ලීම හමුවේය.

සිරුරු පුළුස්සා දැමීමට නිලධාරීන් ගත් තීරණය ශ්‍රී ලංකාවාසී  මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන් පාගා දමන්නට ගත් පියවරක් බව පැවසු හකීම් මන්ත්‍රීවරයා අවධාරණය කලේ එය හැඳින්වුයේ වෛරී අපරාධයක් ලෙසයි.

එම නිලධාරීන්ට විරුද්ධව වින්දිත පවුල් වල ඥාතීන් අධිකරණ කටයුතු වලට යොමු විමේ සුදානම් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුව දැනුවත් කළ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ අවම වශයෙන් එම නිලධාරීන් පිළිබදව අමාත්‍යාංශ මට්ටමෙන් විමර්ශනයක් පැවැත්වීමට ඉදිරිපත්වන්නේද යන්නයි.

 " ලෝකවාසී හැම රටකම මෙවැනි තිරණයක් නොගත්ත අවස්ථාවක වැරදි, විද්‍යාත්මක පදනමකින් තොර වු තීරණයක් අරගෙන මුස්ලිම් ජනතාවට මෙවැනි පීඩනයක් කළ මේ නිලධාරීන්ට විරුද්ධව අඩුව වශයෙන් විමර්ශනයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වනවද?"  

 

" ඔබතුමා ඉල්ලීමක් කළොත් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න හැකියාවක් තියනවා,"  යැයි එයට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී යළිත් වරක් විවෘතව කළ ඉල්ලිම හමුවේ සිය එකඟතාව පල කරනු ඇසිනි.


ලංකාවට අපකීර්තියක්


ජාතිවාදී ප්‍රතිපත්තියක් බවට නැගුනු දෙස් විදෙස් විවේචන නොතකා අවුරුද්දක් තිස්සේ බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය සියලු කෝවිඩ් මළ සිරුරු පිළිස්සීමේ ප්‍රතිපත්තිය එවකට පැවැති ආණ්ඩුව විසින් වෙනස් කරනු ලැබුවේ 2021 මාර්තුවේ දීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයට හරස්ව යමින් ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් 2020 ආරම්භයේ පටන් නියම කර තිබුනේ කෝවිඩ් මළ සිරුරු ආදාහනය කරන ලෙසයි.

එය යුක්ති සහගත කිරීමට ආණ්ඩුව විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවක මතය වූයේ කෝවිඩ් ආසාදිත මළ සිරුරු භුමදාන කිරීමෙන් භූගත ජලධාරා කෙලෙසෙන බවයි. එය පදනම් විරහිත අවිද්‍යාත්මක අභුතයක් සේ ලොව ප්‍රකට වයිරස් විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් ඇතුළු විද්වතුන් විසින් බැහැර කරනු ලැබුවද ආණ්ඩුව එය කිසිසේත් මායිම් කළේ නැත.


 කොරෝනාබාධිතව මියයන ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඉස්ලාමීය වත් පිළිවෙත් වලට පටහැනිව ආදාහනය කිරීමත්, වසංගත මර්දනය බාර රාජ්‍ය බලධාරීන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මුස්ලිම් විරෝධී වෛරය ඇවිලවීමත් ජාතිවාදී ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් සංවිධානවල ගර්හාවට ලක්වුණි.

 
කෝවිඩ් 19 ආසාදිතව මළවුන්ගේ දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජනවාර්ගිකත්වය කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තියක් ලෙස හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කණ්ඩායමක් විසින් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව දියත් කෙරුණු පළමු දැවැන්ත මහජන උද්ඝෝෂණය වන දෙමළ දේශපාලන නායකත්වයෙන් 2021 පෙබරවාරි මුල දින පහක් තිස්සේ කිලෝමීටර් 700ක් දුර ගමන් කළ P2P නමින් ප්‍රකට පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ පාද යාත්‍රාවේ දී මුස්ලිමුන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව ඉහළින්ම විරෝධය පලවිය.

ඉන් දින කීපයක් ඇවෑමෙන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොරෝනාබාධිත මළ සිරුරු ඕට්ටමාවඩි සුසානයේ පමණක් භූමදානයට රජය හේතු දැක්වීමකින් තොරවම අවසර දුන්නේය.

අවිද්‍යාත්මක පදනමක පිහිටා පවත්වාගෙන යනු ලැබූ බලහත්කාර ආදාහන ප්‍රතිපත්තියෙන් මහත් දුකට හෙලනු ලැබූ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට කවර සහනයක් සලසන්නේද යන්න ආණ්ඩුව තවමත් ප්‍රකාශයට පත් කර නැත.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්