බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිවට ගෙනවිත් වසර 200 ක් ගතව සිටින මලය රටේ දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේ නිදහස් හා සමාන පුරවැසියන් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිදු කරන අරගලයට රටේ සෙසු ජන වර්ග වල

සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තලෙයිමන්නාරම සිට මාතලේ දක්වා ගමන් ගන්නා දෙසතියක පා ගමනට යුද පීඩිත වන්නියේ දෙමළ ජනයාගේ සහාය පළ වී තිබේ.

ශ්‍රී ලංකාවේ අර්ථවත් පුරවැසියන් වීම සදහා රජයට ඉල්ලීම් 11 ක් ඉදිරිපත් කරමින් ජුලි 28 වැනිදා තලෙයිමන්නාරමේදී සමාරම්භක උත්සවය පැවැත්වු  මලෛයහ දෙමළ ජනයා ජුලි 29 වැනිදා උදෑසන තලෙයිමන්නාරමෙන් ආරම්භ කළ පා ගමන කිලෝ මීටර 300 ට ආසන්න දුරක් ගෙවා දමමින් මාතලේට පැමිණිමෙන් අනතුරුව නිමා වීමට ඇත්තේ අගෝස්තු 12 වැනි දිනයි.

අගෝස්තු 1 වැනිදා පෙරවරුවේ මුරුකන්ඩි සිට මඩු දක්වා කිලෝ මීටර 26 ක දුරක් ගෙවා පැමිණි පා ගමනේ නියැලෙන්නන් අගෝස්තු 2 වැනිදා මඩුහිදී විවිධ ක්‍රියාකාරම් සංවිධානය කර තිබුනි.

අගෝස්තු 2 වැනිදා පෙරවරුවේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු හන්දියේදී පා ගමනක් ආරම්භ කළ යුද පීඩිත වන්නියේ දෙමළ ජනයා කයිවේලි දක්වා පා ගමනින් පැමිණ ඒතැන් සිට කිලිනොච්චිය දක්වා වහාන වලින් ගමන් කරමින් මලෛයහ දෙමළ ජනයාට සහයෝගය පළ කර තිබුනි.

ඒ සදහා යුද පීඩිත වන්නියේ දෙමළ ජනතාව හා ආගමික නායකයන්, දේශපාලන ක්‍රියාකාරීන්, සිවිල් සංවිදාන නියෝජිතයන් මෙන්ම වෙළද ප්‍රජාවද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ සුසාන හමුවූ දිස්ත්‍රික්ක දෙක වන්නේද මන්නාරම හා මාතලේයි.

 වසර 200 ට ඉහත දී සිය මුතුන් මිත්තන් ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමට පැමිණ අනේක වු දුෂ්කරතා මධ්‍යයේ පා ගමනින්ම මාතලේට ළඟා වූ ගමන් මාර්ගයම මෙම පා ගමන සදහා තෝරා ගෙන ඇති බැවින් ඔවුන් එය නම් කර ඇත්තේ "මුලයන් සොයමින් අයිතීන් දිනාගැනීමට" මැයෙනි. මලය කඳුරට දෙමළ ප්‍රජාවගේ ඉතිහාසය, අරගල, ජයග්‍රහණ, ඔවුන්ගේ දායකත්වය, වත්මන් සමාජ-ආර්ථික හා දේශපාලන තත්ත්වය සහ අභිලාෂයන් පිළිබව සිංහල, ශ්‍රී ලාංකික දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් සහෝදර ජනතාව අතර මුලික අවබෝධයක් ඇති කිරීම මෙම පා ගමනේ අරමුණ වී තිබේ.


සියවස් දෙකක කාලයක් පුරා මලෛයහ දෙමළ කාන්තාවන් හා පිරිමින් විසින් ලබාදුන් දායකත්වය පිළිබඳව ඇගයීම ප්‍රදර්ශනය කිරීම සඳහාත්, මලෛයහ දෙමළ ප්‍රජාව වෙත සහයෝගීතාව දක්වමින් හඬ එක් කිරීම සඳහාත්, මෙම පා ගමනට එක්වන ලෙස සංවිධායකයෝ ආරාධනා කර තිබුනි.

සිය ඉතිහාසය අරගලය සහ දායකත්වය පිළි ගැනීම, අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව වෙනමම අනන්‍යතාව සහිත නිදහස් ශ්‍රී ලංකාවේ ජන කොටසක් ලෙස පිළි ගැනීම, ජාතික මට්ටමේ සාමාන්‍යය හා සමාන මට්ටමක් ළඟාකර ගැනීමට අධ්‍යාපනය සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණයන් සම්බන්ධ සාධනීය ක්‍රියාමාර්ග, ජීවත්වීමට සරිලන වැටුපක් ගෞරවනීය රැකියා නෛතික ආරක්ෂාව සහ පිරිමි හා කාන්තා කම්කරුවන්ට සමාන වැටුප්, නිවාස සහ ජීවනෝපාය සඳහා සුරක්ෂිත හිමිකමක් සහිත ඉඩම්, දෙමළ භාෂාව සමාන ලෙස භාවිතය සහ ඒ සඳහා සමාන තත්වයක්, රාජ්‍ය සේවා වෙත සමාන ප්‍රවේශය, වැවිලි අංශයේ ජනාවාස නව ගම්මාන ලෙස සීමා නීර්ණය කිරීම, ගෘහස්ථ සේවකයන් ආරක්ෂා කිරීම, මලෛයහ සංස්කෘතිය සංරක්ෂණය හා ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය පාලනයේ සෑම මට්ටමකදීම අර්ථවත් පාලන කාර්යභාරයක් හිමිවන පරිදි සමානාත්මතාව සහිත සහ අන්තර්කරණය වූ මැතිවරණ ක්‍රමයක් සහ බලය බෙදීමක්, ශ්‍රී ලංකාවේ අර්ථවත් පුරවැසියන් වීම සදහා මලෛයහ දෙමළ ජනතාව ඉල්ලා සිටින මුලික ඉල්ලීම් වේ.

 Amma1 2023.08.03


සබැඳි පුවත් :
මලය රටේ දෙමළ ජනතා පිබිදීමේ පාගමන දිගටම

'මලෙයියහ දමිල': ලංකාවට පැමිණ වසර 200ක් පිරෙන වතුකරයේ ජනතාවගෙන් රජයට ඉල්ලීම් 11ක්

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්