රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉස්ලාමීය සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස

අභියාචනාධිකරණය ඊයේ  (අගෝස්තු 04 වැනිදා) විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග කළේය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අබ්දුල් රහීම් මොහොමඩ් නමැති සිසුවකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් මස 14 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස විනිසුරුවරයා විසින් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.



පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු බව පැවසීය.

ඔහු ඉස්ලාම් භක්තිකයෙකු වන අතර රැවුල වවා සිටීම නිසා ඔහුට දේශනවලට සහ විභාගය සඳහා පෙනී සිටීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

විභාගයට හා දේශනවලට පෙනී සිටීම අවශ්‍ය නම් රැවුල කපා ඉවත් කරන ලෙස පාලනාධිකාරිය බලපෑම් කර ඇති බවත් ඔහු කියා සිටියේය.



'විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නීතිමය බලයක් නැහැ'


ඔහුගේ ආගමික විශ්වාසයන්ට අනුව රැවුල වැවීම කරන බවත් එය කපා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නියෝග නිකුත් කිරීමට කිසිදු නීතිමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙවැනි නීතියක් පැනවීමට විශ්වවිද්‍යාල පනත යටතේ, විශ්වවිද්‍යාල පාලනාධිකාරියට කිසිදු බලයක් නොමැති අතර අදාළ සිසුවා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ අවස්ථාවේ මෙවැනි රෙගුලාසියක් නොපැවති බවත් අවසන් වසරේදී මේ ආකාරයේ නීතියක් පැනවීම නිසා ඔහුගේ ආගමික විශ්වාසයන්ට මෙන්ම ඔහුගේ අධ්‍යාපන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස තම සේවාදායකයාට ලබන 09 වනදා පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාලයේ විභාගය සඳහා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ඔහු වැඩිදුරටත් තර්ක කළේය.


'විනය තීරණයක්'


මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ විශ්වවිද්‍යාලය විනය තීරණයක් මත මෙම තීන්දුව ගෙන ඇති බවය.

අදාළ විශ්වවිද්‍යාලයේ සිටින සෙසු ඉස්ලාම් සිසුන් ද මෙම නීතියට අනුකූලව කටයුතු කරන බව රජයේ නීතිඥවරිය පැවසුවාය.

විශ්වවිද්‍යාලය විසින් ගනු ලැබූ මෙම තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ විරුද්ධත්වය පළ කළාය.

කෙසේ වෙතත් දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම්කාර ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට ඇතුළු වන අවස්ථාවේදී මෙවැනි නීතියක් එම විශ්වවිද්‍යාලය මගින් පනවා නොතිබූ බව පෙන්වා දුන්නේය.

එසේ තිබියදී අවසන් වසරේදී මේ ආකාරයෙන් නීතියක් පැනවීම තුළින් ඔහුට අගතියක් සිදු වන බව විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ ශිෂ්‍යයාට අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.


(BBC සිංහල සේවය)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්