1. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මේ රටේ උත්තරීතර නීතිය බවත්, එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති අතර එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ ( අගෝස්තු මස 09 වැනිදා) පැවසුවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳ සිය යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

13 වන සංශෝධය යටතේ පළාත් සභා වෙත බලය පැවරීමේ දී පොලිස් බලතල වැනි සංවේදී විෂයයන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමෙන් සිදු වන්නේ ඇතැම් විට කිසිඳු එකගතාවකට එළැඹීමට අපහසුවීම බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පළමුව අනෙකුත් බලතල පිළිබඳ එකඟතාවන්ට පැමිණෙමින් රටේ අනාගතය වෙනුවෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පියවරින් පියවර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලුදෙනා එක් විය යුතු බව ද අවධාරණය කළේය.



2. පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයටත් සූදානම්


පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය කර හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව එකඟවන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම් බවත්, දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා සඳහා තරග කිරීමේ අයිතිය ලබාදීම, කාන්තා නියෝජනය 25%ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම යන යෝජිත කරුණු පිළිබඳ සාකච්ඡා කර එකඟතාවක් ලබාගෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.


image 0413038931


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුව, පළාත් සභා බලතල ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යළි අධ්‍යයනය කොට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඊට ලබා ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.



3. ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දීමට කමිටුවක්


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳ සිය යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපතිවරයා එම යෝජනා ගැඹුරින් විමසා බලන ලෙසත්, ඒ වෙනුවෙන් සිය යෝජනා ඉදිරිපත් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර එම සියලු අදහස් සැලකිල්ලට ගෙන පළාත් සභාවල කාර්යභාරය සහ ඒවායේ අනාගතය පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමේ වගකීම පාර්ලිමේන්තුවට හිමිවන බවද කියා සිටියේය.

පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවත් නීති සම්පාදනය සඳහා ද තවත් කමිටුවක් පත්කිරීමට මෙහිදී යෝජනා කර සිටියේය.



4. ජනාධිපති සමාව


රිමාන්ඩ් සිරකරුවන්, මරණ දඬුවම නියම වූවන් සහ වෙනත් සිරකරුවන් ලෙස සිරකරුවන් කාණ්ඩ තුනක් සිටින බවත්, අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති සමාව සඳහා අවසන් කාණ්ඩ දෙක සලකා බලන බවත් පැවසීය.

ඒ අනුව සිරකරුවන් 11 දෙනෙකු වෙනත් සිරදඬුවම් සහිත ගණයෙන් නිදහස් කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බව ප්‍රකාශ කළේ ය.



5. ජාතික ඉඩම් ප්‍රතිපත්තිය


ජාතික ඉඩම් කොමිසම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත්, ඉඩම් කොමිෂන් සභා නීති කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර එය රජයේ ඉඩම් භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීමට යොදා ගන්නා බවත් ජාතික ඉඩම් කොමිෂන් සභාවේ කටයුතු සඳහා මගපෙන්වීමට ඉඩම් කොමිෂන් සභා ප්‍රතිපත්ති පනතක් සැප්තැම්බර් මාසය වන විට ගෙන ඒමට අපේක්ෂා කරන බව පැවසුවේ ය .

මේ අතර 2009 වසරේ ආරක්‍ෂක අංශ, පොලිසිය විසින් අත්පත් කරගෙන සිටි භූමියෙන් සැලකිය යුතු කොටසක් එනම් සියයට 90ත් 92ත් අතර ප්‍රමාණයක් ක්‍රමයෙන් නිදහස් කර ඇති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කළේය.

මෙයට අක්කර 22,919 ක් ඇතුළත් වන බවත් එයට රජයට අයත් අක්කර 817 ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 22,101 කින් යුක්ත වන බව ජනාධිපතිවරයා පැවසුවේය.

වර්තමානයේ දී ආරක්ෂක හමුදා සහ පොලිසිය විසින් රැඳී සිටින ඉඩම් ප්‍රමාණය අක්කර 3,756 ක් වන බවත් ඉන් ඉඩම් අක්කර 860 ක් රජයට සහ අක්කර 2,892 ක් පුද්ගලික අයිතියට අයත් බව ප්‍රකාශ කළේ ය.



6. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මකයි


අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) අතුරුදන් වූවන් සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, මාස තුනක් ඇතුළත එම කටයුතු නිම කිරීමේ අරමුණින් දත්ත ඇතුළත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අතුරුදන් වූවන් වෙනුවෙන් සහතිකයක් (COA) නිකුත් කිරීම ද වේගවත් කිරීමට කටයුතු කරන බව පැවසුවේ ය.

සියලු දෙනාටම එකඟවිය හැකි විසඳුමකට එළැඹීමෙන් ජාතික අනන්‍යතාව ආරක්ෂා කරගෙන එකම ජාතියක් ලෙස නැඟී සිටීමටත්, රටේ බලය මහජනතාව වෙත සමීපවන ආකාරයට විමධ්‍යගත කිරීමටත් ට්ට්අවස්ථාව සැලසෙන බවත්, පළාත් සභා ස්ථාපනය කර ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් නොව පළාත් නවයටම අදාළ වන අයුරින් බවට අවධාරණය කළේ ය.


7. ස්වෛරීභාවය සහ ඒකීයභාවය


රටේ ස්වෛරීභාවයට සහ ඒකීයභාවයට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාවල නිරත නොවන බවට ජනාධිපතිවරයා සහතික විය. ජාතික සංහිඳියාව සඳහා සාධනීය ලෙස සහභාගී වන ලෙස ඔහු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර ජාතියේ සංවර්ධනය සඳහා ජනතාවගේ අවශ්‍යතා මූලික වන බව අවධාරණය කළේය.



8. ඉන්දියාවේ පුනරුත්ථාපන කඳවුරුවල සිටින ලාංකිකයන්


දකුණු ඉන්දීය පුනරුත්ථාපන කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් 2,678 දෙනෙකුගේ ලැයිස්තුවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව ජනාධිපතිවරයා නිවේදනය කළේය. ඔවුන් අතර, ශ්‍රී ලංකා උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් යන දෙකම ඇති පුද්ගලයින් සියලු රටවල ගමන් බලපත්‍ර සඳහා සුදුසුකම් ලබයි. මෙම ලියකියවිලි නිකුත් කිරීමේ ක්‍රියාවලිය සති දෙක හතරක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.



9. උතුරේ ගුවන් සහ මුහුදු සබඳතා වැඩිදියුණු කිරීම


ඉන්දියාවේ සහයෝගය සහිතව උතුර සහ නැගෙනහිර පළාත් තුළ ආර්ථික සංවර්ධනය සඳහා සැලසුම් ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එහිදී උතුරු කලාපයේ ගුවන් සහ මුහුදු සබඳතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කන්කසන්තුර වරාය, වව්නියාව සහ පලාලි ගුවන් තොටුපල වැඩිදියුණු කිරීම සහ උතුරු පළාත සහ දකුණු ඉන්දියාව අතර යාත්‍රා සේවාවක් ස්ථාපිත කිරීම ද එම සැලසුම්වලට ඇතුළත් වේ.

මීට අමතරව කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් හි ආයෝජන ප්‍රවර්ධන කලාප ඇති කිරීමට උත්සාහ කරමින් පවතින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.



10. මැතිවරණ වියදම් පාලන පනත



මැතිවරණ සමයේ සිදුවන මූල්‍ය අපයෝජන සහ අක්‍රමිකතා මැඩලීමේ අරමුණින් මැතිවරණ වියදම් පාලන පනත බලාත්මක කිරීම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටේ ප්‍රතිරූපයට අහිතකර ලෙස බලපා ඇති දූෂණ හා වංචා ගැටලු විසඳීමට අදහස් කරන ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ශක්තිමත් දූෂණ විරෝධී පනතක් අනුමත කිරීම ගැනද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

(BBC සිංහල සේවය)



සබැඳි පුවත් :
ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශය : අවංක එකමුතුවක අවශ්‍යතාවය අවධාරණය කරයි

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්