පලාත් සභා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාවල තිබෙන්නේ අවංක චේතනාවකට වඩා ඉදිරි

මැතිවරණ ඉලක්ක කරගත් යටි අරමුණක් බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු එබව පැවසූවේ, ඊයේ (අගෝස්තු මස 10) නාවල නිදහස කාර්යාලයේ පැවති ප්‍රවෘත්තී සාකච්ජාවකදීය.

2048 වන විට සංවර්ධිත රටක් හදන්න කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරමින් යන්නේ 2015-2019 කාලයේ රටට හඳුන්වාදී අසාර්ථක වූ ' මාස 60න් අළුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලියම' බව නිදහස ජනතා සභාවේ ආචාර්ය නාලක ගොඩහේවා එම මාධ්‍ය හමුවේදී පැවසිය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

'' රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 දී ' යලි පුබුදමු ශ්‍රී ලංකා' කියා රට හදන වැඩ පිලිවෙලක්  හඳුන්වාදුන්නා. කුඹුරු ගොඩ කරලා කර්මාන්ත ශාලා හදමු වගේ සංකල්ප ඉදිරිපත් වුනේ ඒ  නමුත් 2004 චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තුව විසුරවපු නිසා මේ වැඩපිලිවෙල ඉදිරියට ගෙනියන්න බැරි උනා.

ඊට පස්සේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයට එතුමගේ පින්තූරේ මුල්පිටුවේ දාපු ' මාස 60 කින් රට හදන පංචවිධ ප්‍රතිපත්ති ප්‍රකාශය' ඉදිරිපත්කරලා එතුමා ජයගත්තා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ තිබුනේ එදා යලි පුබුදමු ශ්‍රී ලංකා කියලා ඉදිරිපත් කරපු වැඩසටහනම‍යි බොහෝදුරට.  ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වල දිලා තිබුනේ ' සමාජ වෙළඳපොල ආර්ථිකයක් ; කියලයි. ලොකු ලොකු පොරොන්දු රාශියක් දීලා තිබ්බා.

උදාහරණයක් වශයෙන් ණය ගැනීම් සීඝ්‍රයෙන් අඩුකරල 2023 වන විට ණය නොගන්නා රටක් බවට ලංකාව පත්කරණවා කියලා තිබ්බා. 2015 -2019 කාලයේ ඔය කියපු එක පොරොන්දුවක් වත් ඉටුවුනේ නෑ. රටේ සම්පත් විකුණලා රට විශාල ණය උගුලක පටලවනු ලැබුවා. ආසියානු කලාපයේ සීඝ්‍ර වර්ධනයක් තිබුනු පස් අවුරුදු කාලයක් තුල ලංකාවේ ආර්ථික වර්ධන වේගය වස‍රින් වසර අඩු වුනා. අන්තිමට මාස 60 කට පස්සේ ඉතුරුවෙලා තිබුනේ තව දුරටත් විදේශ ණයක් වත් ගන්න බැරි විදියට අන්ත ර් ජාතික ශ්‍රේණිගත කිරීම ආයතනවලින් ණය ශ්‍රේණිය පහත දමපු අසාර්ථක රටක්. ඒ වගේම ජාතිවාදයෙන් ගිනියම් වූ අසමගියෙන් පිරි රටක්.

 

දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආයේ බලයට ඇවිල්ලා පිටිපස්ස දොරෙන්, 2022 මේ රටේ සිදු වෙච්ච කලබැගෑනිය නිසා. 2023 එතුමගේ අයවැය ප්‍රකාශණය හොඳින් විශ්ලේෂණය කරන කොට බැලුවොත් අපිට පේනවා එතුමා යලිත් මේ රටට හඳුන්වා දෙන්නට යන්නේ ' මාස 60 කින් රට හදන පංචවිධ ප්‍රතිපත්ති ප්‍රකාශයේ' සඳහන් වෙලා තිබුන ආර්ථික සංවර්ධන සැලැස්මමයි. ' සමාජ වෙළඳපොල ආර්ථිකයක් ගැන යලිත් කියවෙනවා. මේ පාර කියනවා 2048 වන විට සංවර්ධිත රටක් කියලා. දැන් ප්‍රශ්ණය තියෙන්නේ මේකයි 2015-2019 කාලෙ මාස 60 ම තිබිල කරගන්න බැරිවෙච්ච දේ ඒ ප්‍රතිප්ත්තිම අනුගමනය කරලා දැන් කරන්න පුළුවන් කියා විශ්වාස කරන මෝඩයෝත් මේ රටේ ඉන්නවා ද කියනා එකයි.

 

" බලය රැක ගන්න පූස් පැටව් වෙලා"

අපිට ලැජ්ජා 2002 හා 2015 දී රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික ප්‍රතිප්ත්ති නිර්ධය ලෙස විවේචනය කරපු කඳවුරේ නායකයෝ බලය රැක ගැනීම සඳහා පූස් පැටව් බවට පත්වෙලා මේ සියළු දේට අත උස්සන එකයි. නමුත් අපි මේ ප්‍රතිපත්ති වලට එදත් විරුද්දයි අදත් විරුද්දයි. කොන්ද කෙලින් තියාගෙන කැබිනට් ඇමතිකම් එපා කියලා  අපි එලියට ආවේ අපට මේ රටේ සාමාන්‍ය ජනතාව ගැන වගකීමක් තියෙනා නිසායි. මේ ක්‍රමයෙන්. ජනතාව දිගින් දිගටම පීඩනයට ලක්වෙනවා මිස රටට වෙන සුගතියක් නැති බව අපි ඉතා හොඳින් දන්නවා.

පහුගියදා පාර්ලිමේන්තුවට වසර මැද රාජ්‍ය මූල්‍ය  තත්වය පිළිබඳ වාර්ථාව ඉදිරිපත් උනා. ඒක විග්‍රහ කරලා බැලුවහම මම කියනා දෙය ඉතාම පැහැදිලියි.  

අයවැයෙහි ඉදිරිපත් කල ඉලක්ක දිහා බලුවහම අපි අඩ වසරකට පසු ඉන්නේ අපේක්ෂිත ඉලක්ක වලට වඩා බොහොම පිටිපස්සෙන්.

අපේක්ෂිත ආදායමෙන් 23% පිටුපසින් ඉන්නේ

රටේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ. තාම වාර්ථා එලියට ඇවිත් තියෙන්නේ පලවෙනි කාර්තුවේ විතරයි.

 

ආර්ථිකය 11.5% කි හැකිලිලා.  කෲෂිකර්මාන්ත ක්ෂේත්‍රය තිබුන විදියමයි. කර්මාන්ත ක්ෂේත්‍රය 24% කින් සංකෝචනය වෙලා. සේවා ක්ෂේත්‍රය 5% කින් හැකිලිලා. ඉදිකිරීම් කර්මාන්තය 40% කින් හැකිලිලා මිලියනයකට විතර ආදායම් මාර්ග අහිමිවෙලා.

 

අපනයන ආදායම පසුගිය මාස 6 දී පසුගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 650 කින් අඩුවෙලා. 12% ක කඩා වැටීමක්.

දහස් ගනන් වෘත්තිකයෝ  රට හැර යනවා  බඩු බර දරා ගන්න බෑ කියලා.

මිනිස්සුන්ට කන්න නෑ. බෙහෙත් නෑ, ආදායම් මාර්ග නෑ.

ගොවියන්ට වතුර නෑ. රජයේ අදූරදර්ශී ප්‍රතිප්ත්ති නිසා ගොවි බිම පාලු වෙලා
විදුලිය, ජලය , ඉන්ධන,  ගෑස්, සියල්ලේම මිළ වැඩිකරලා

ස්ථාවර වෙලා කියපු රුපියල ඔන්න ආයෙත් කඩා වැටෙනවා. ඩොලරය ආයෙ ඉහල යනවා. බ්ලූම්බර්ග් ආයතනය කියනවා මේ අවුරුද්ද අවසද්න් වෙන කොට ඩොලරය රුප්ියල් 365 කට විතර යනවා කියලා.

'' IMF කියන හැම දේම කරලා මේකද අවසාන  ප්‍රතිපලය ? ''

විශාල වශයෙන් බදු වැඩිකරලා IMF කියන හැම දේම කරලා  මේකද අවසාන  ප්‍රතිපලය ?

2020 හා 2021 බරපතල කොවිඩ අර්බූදායකට මුහුණ දීලත් 2022 අපිට 3.1% වර්ධනයක් තිබුනා ආර්ථිකය වර්ධනයක්. නමුත් අද ආර්ථිකය සීඝ්‍රයෙන් කඩා වැටෙමින් තියෙනවා.

වසරකට ඩොලර් බිලියන 5 ක් විතර ණය ගෙවන්නේ නැතුව ඉන්න මේ ආන්ඩුවට ආර්ථ්කය කලමණාකරනය කරගන්න බෑ.

කොටින්ම කියනවා නම් රනිල වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආන්ඩුවේ 'එදා වේල ටුවර්ස් ආර්ථික' කලමනාකරනය අසාර්ථකයි.

දැන් පොදු ජන පෙරමුණ පිහිටුවා තිබෙන මේ රජයේ ප්‍රතිපත්තිය  වෙලා තියෙන්නේ එදා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කල ප්‍රතිප්ත්තියමයි. මං දන්නේ නෑ  ආන්ඩුව පැත්තේ ඉඳගෙන ඕනේ එකකට අත උස්සන  පොදු ජන පෙරමුණේ මංත්‍රීලට මේව තේරෙනවද වත් කියලා.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම දක්ෂයි සිහිණ විකුනන්න . ඔහු සිහින වෙළෙන්දෙක්. ඒ සිහින බොහෝ දෙනෙක් මිළදී ගන්නව. හැබැයි උදේ නැගිටලා බලනකොට ඒවා සිහින පමනයි. ආර්ථිකය ගැන විතරක් නෙවෙයි තව බොහෝදේවල් ගැන එතුමා සිහින විකුණනවා.

 

උදාහරණයක් වශයෙන් ඊයේ එතුමා පාර්ලිමේන්තුවේදී පලාත් සභා ශක්තිමත් කිරීම ගැන අදහස් රාශියක් පලකලා.  

බැලු බැල්මට සමහර දේවල් ලස්සනයි. හොඳින් විග්‍රහ කලාම තමයි එවයේ තියෙන බයානක කම තේරෙන්නේ.

අපි නම් කිසිසේත්ම විශවාස කරන්නේ නෑ එතුමාට මේ පලාත් සභා ශක්තිමත් කරලා එවා රටේ සංවර්ධනයට දායක කර ගැනීමේ සැබෑ අවශ්‍යතාවක් තිබෙනවා කියා.

ඒ වෙනුවට එතුමා කරන්නේ ඊලඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන උතුරේ ජනතාවට ඡචන්ද ගුන්ඩුවක් දීමයි. ඔවුන්ට බලා පොරොත්තුවක් ඇති කරනා ගමන් රට තුල විවාදයක් ඇතිකරලා  දකුනේ දේශපාලන පක්ෂ බිඳවීමයි.

මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිතුමාව එලෙව්වේ නෑ 13 බලාත්මක කරන්න කියලා. ඒක නෙමෙයි ජනතාවට තිබුන ප්‍රශ්ණය ජනතාවට තිබුනේ ආර්ථික කලමණාකරණය පිලිබඳ ගැටලුවක්.

මේ රටේ ජනතාවට තේරුමක් තිබුනේ නෑ ගෝටාභය රාජපක්ෂ මහතා පැටලිලා හිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ' මාස 60 කින් රට හදන පංචවිධ ප්‍රතිපත්ති ' ක්‍රියාත්මක කරන්න ගිහින් පටලවපු මර උගුලේ කියලා.

 

දැන් පොදු ජන පෙරමුණේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මහතාව යලි පත්කරගෙන තියෙන්නේ මේ ගැටය ලිහන්න. ගැටය ලිහනවා වෙනුවට එතුමා එදා අනපු විදියටම නූල් බෝලේ තවදුරටත් අනමින් ඉන්නවා. ආර්ථික ප්‍රශ්න වෙනුවට ජනවාර්ගික ප්‍රශ්ණයකුත් යලි නිර්මාණය කරගන්න උත්සාහ කරනවා.

 

පලාත් සභා ගැන එතුමා විශ්වාස කරනවානම් මුලින්ම කරන්න ඕනේ ව්‍යවස්ථාපිතව පවත්වන්නට නියමිතව තිබුන පලාත් සභා චන්ද රට පුර පැවැත්වීමයි.

ඊට කලින් ව්‍යවස්ථා සංශෝධනය කරන්න මේ රටේ ජනතාව වරමක් දීලා නෑ.

කරන්න ඕනේ නම් ඉස්සෙල්ල ගිහිල්ලා ජනතාවගෙන් වරම ගන්න.  මොකද මේ රටේ පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාව සතුවයි. එක එක්කෙනාට ඕනේ විදියට ව්‍යවස්තා වෙනස් කරන්න බෑ.

අද මේ රටේ එකම පලාත් සභාවක්වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. එකම පලාත් පාලන ආයතනයක් වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ සියල්ල තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් පත්කල නියෝජිතයන් යටතේයි.

ඒ නිසා බලය බෙදීමේ මුවාවෙන් මේ කරන්න හදන්නේ තමුන්ගේ බලය තවතවත් වැඩි කරගන්න කියලයි අපිට පෙනෙන්නේ.

පලාත් සභා ශක්තිමත් කිරීමේ අවංක චේතනාවක් ජනාධිපතිවරයාට තිබෙනවා නම් ඉස්සෙල්ලාම කල යුත්තේ වසර 4 ක් තිස්සේ ප්‍රමාද කොට තිබෙන පලාත් සභා මැතිවරණ රටපුරා පැවැත්වීමයි.

ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා මේ සිහිනයෙන් දැන්වත් අවධිවෙන්න කියා. තව දුරටත් සිහින වලට නොරැවටී තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැබෑ සටනකට පෙල ගැසෙන්නට කාලය ඇවිත් කියා මම ඔබට මතක් කරනවා.''

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්