'රාජ්‍ය බුද්ධි පනත : භාරකාර භුමිකාවෙන් අයිතිකාර භුමිකාව සඳහා...


'රාජ්‍ය බුද්ධි පනත' නමින් නව පනතක් සම්පාදනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් එය සම්පාදනය සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක උසස් අධ්‍යාපන හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍යට හෙළිදරව් කර ඇත.

කප්පරක් වු විදේශ ණය ගෙවීම අහස උසට නැගුණ ජීවන වියදම ඉහළයාම වැනි විසදිය යුතු බැරෑරුම් ප්‍රශ්න රටතුළ තිබියදී රාජ්‍ය බුද්ධි පනතක් ගෙන එන්නට නව ආණ්ඩුවට මෙතරම් තදියමක් ඇතිවුයේ ඇයි?

මේ යෝජිත පනත ප්‍රකාරව රාජ්‍ය බුද්ධි අංශ නියාමනය කිරීම, බුද්ධි අංශ බලගැන්වීම සහ මුක්තිය (මෙය දණ්ඩ මුක්තිය විය යුතුය) යන කාරණාවලට ප්‍රමුඛතාවය ලැබෙන බවද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.


Ravaya text 17බුද්ධි අංශවලට දණ්ඩ මුක්තිය ලබාදීමට ආණ්ඩුව කැසකවන්නේ ඇයි ?

ජාතික ආරක්ෂාව පෙරටුකරගෙන ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව කැසකවන්නේ වෙනකකට නොව මෙරට තුළ මිලිටරිමය පාලනයක් ගෙනයාමට අවශ්‍ය පදනම සකසා ගැනීමය. 

දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් සැළකුවහොත් ලෝකයේ ප්‍රබල රටවල් පවා සිය බුද්ධි අංශවලට දණ්ඩ මුක්තියේ ආවරණය නිත්‍යානුකූලව ලබාදී නැත. එසේනම් ශ්‍රී ලංකාව වැනි රටක බුද්ධි අංශවලට දණ්ඩ මුක්තිය ලබාදීමට ආණ්ඩුව කැසකවන්නේ ඇයි ?

පැවති රාජපක්ෂ ආණ්ඩුව යුගයේ එවකට සිටි බුද්ධි අංශවල නිළධාරීන් විවිධ හේතු දක්වමින් පුද්ගලයින් මරා දැමීම සේම කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් පැහැරගෙන අතුරුදහන් කිරිම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නඩු පැවරුවේ 2015 න් පසුව බලයට පැමිණි ආණ්ඩුවය. 

මේ නිසා බුද්ධි අංශ වැඩ මුවාවෙන් සිදුකළ අමානුෂික ක්‍රියාවන් හෙළිදරව් වුවා පමණක් නොව ඇතැමුනට අධිකරණයෙන් දඬුවම් පවා ලැබිණ. තවමත් විසඳී නැති එකල සිදුවූ අපරාධ ගැනද රටට හෙළිදරව් විය. 

එකල ඒසා මහත් අපරාධ රැසක් බුද්ධි අංශවල අයයැයි කියාගන්නා උදවියගෙන් සිදුව තිබුණු අතර පෞද්ගලික හෝ වෙනත් හේතු බුද්ධි අංශවල නිළධාරිනුත් අතුරුදහන් කළ සිද්ධීන් ද කරළියට පැමිණියේය. මේවා සිදුකළේ බුද්ධි අංශවලට දණ්ඩ මුක්තිය තිබු අවධියක නොවේ.

මෙවන් පසුබිමක බුද්ධි අංශ නියාමනය, බලගැන්වීම හා මුක්තිය හිමිකර දීමේ අරමුණ යට ඇත්තේ ඉදිරියේදී මිලිටරිමය පාලනයක් ගෙනයමින් තමනට එරෙහිවන්නන් විනාශ කර දැමීම මිසෙක වෙන කුමක්ද?

චෞර පාලනයකට රට ගෙන යාමේ නිර්ලජ්ජිත උත්සාහයක් !

අනෙක් කරුණ නම් මේ ආණ්ඩුව මැතිවරණයට පෙරාතුව රටේ ජනතාවට ඉදිරිපත් කළ රටේ දැවෙන ප්‍රශ්නයක් ලෙසින් ඉස්මතු කලේ ජාතික ආරක්ෂාවය.

රටක ජාතික ආරක්ෂාව යනු ඒ රටේ පාලක දේශපාලකයින්ගේ ආරක්ෂාව නම් නොවේ. 

එහෙත් නව ආණ්ඩුව ජාතික ආරක්ෂාව නමැති බියකරු තුඹස පෙරටුකරගෙන විත් තම ආරක්ෂාව සේම තමන්ට රිසිසේ රටහි පාලනය ගෙනයමින් 2015 ට පෙර පාලනය යළිත් රැගෙන ඒමට සිදුකරණ උත්සාහයක් ලෙස මේ රාජ්‍ය බුද්ධි පනත දැක්විය හැකිය. 

ඒ ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදයේ ( DEMOCRACY ) අතිශය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් වන ක්ලිප්ටොරසි ( CLEPTORACY ) එනම් චෞර පාලනයකට රට ගෙන යාමේ නිර්ලජ්ජිත උත්සාහයකි මේ. 

රට ප්‍රජාතන්ත්‍රවාදිව පාලනයට ගෙන යන්නේ නම් එරට තුළ ගෙන එන නව අණ පනත් එරටෙහි ජනතාවගේ ශුභ සිද්ධියට අදාල වන ඔවුන්ගේ නිදහස අවුරණ හෝ සීමාකරණ ඒවා නොවිය යුතුය. රට වැසියාගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන ආකාරයේ ඒවා විය යුතුය.

Ravaya text 2
මිහිඳු හිමියන් විසින් එදා අම්බස්තලයේදී තිස්ස රජු අමතා දෙසුවේ යැයි කියන “මහරජ ඔබ මෙරටෙහි භාරකරුවා මිසෙක අයිතිකරුවා නොවේ” යන්න මෙහිදි නැවතත් සිහිපත් වේ. ඒ කිසිවක් නිසා නොව ජාතික බුද්ධි පනත වැනි අණ පනත් රැගෙන එමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ මේ සුදානම භාරකාර භුමිකාවෙන් ඉවත්ව නැවතත් අයිතිකාර භුමිකාව කරා දෝලනය වීමට නොවේද? 

තුනෙන් දෙකක බලය අවශ්‍යවන්නේ ඇයි? 

ඒ අතරේ ඔවුන් එළඹෙන මහමැතිවරණයේදී රටේ ජනතාවගෙන් ඉල්ලනුයේ තුනෙන් දෙකක බහුතර බලයකි. තුනෙන් දෙකක බලය අවශ්‍යවන්නේ ඇයි? එසේ නොමැතිව රටක පාලනය ගෙන ගිය නොහැකිද? යන කාරණය ගැන සලකා බැලුවහොත් අපටනම් පෙනෙන්නේ මේ පිඹුරුපත් සැකසීම දැඩි ඒකාධිපති මිලිටරි පාලනයක් ගෙනයෑමට විනා වෙන කිසිවකට නොවන බවය.

පෙරළා ජාතික බුද්ධි පනත දෙසට යොමු වුවහොත් එය සම්මත කරගැනීම තුළින් සිදුවිය හැකි විනාශය අති විශාලය. මෙමගින් ඊනියා ජාතික ආරක්ෂාවට විරුද්ධව කටයුතු කරන්නේ යැයි චෝදනා නගමින් රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් පෙනීසිටින, අයගේද ආණ්ඩුවේ වැරදි විවේචනය කරන්නවුන්ගේද හඬ නිහඬ කිරීමට ආණ්ඩුව ක්‍රියාකරනු ඇත. 

2015 ට පෙර රාජපක්ෂ යුගයේදී රාජ්‍ය බුද්ධි අංශ වල ඇතැම් අයගේ බිහිසුණු ක්‍රියාකාරකම් මෙනෙහි කරද්දී දණ්ඩ මුක්තිය හිමිවුවහොත් මේ අය කොතරම් දරුණු ලෙස ක්‍රියාත්මක වේවිද යන බිය අනපේක්ෂිත එකක් නොවන්නේමය.

Ravaya text17ඒ යෝජිත ජාතික බුද්ධි පනත අරභයා දක්වන මේ අදහස් ඇතැම්විට ඇතමෙකුට මුහුද හත්ගව්වක් තියා අමුඩය ගැසීමක් ලෙසට හෝ තේ කෝප්පයේත් කිඹුලන් දකින්නක් ලෙස අර්ථ ගැන්විය හැකි වුවත් පෙනුමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන අණ පනතක් රටට කුමටද? එයින් පුරවැසියාට සිදුවෙන යහපත කුමක්ද යන ප්‍රශ්නය ඔවුන්ගෙන් අනිවාර්යයෙන්ම ඇසිය යුතු වේ. 

එනිසා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සුදානම් වන ජාතික බුද්ධි පනත නම් වන මකරාක්ෂයා පරාජය කිරීමට උත්සාහ නොගතහොත් එය තවත් හිට්ලර් පාලනයකට පාර කැපීමක් වීම වැළැකිය නොහේ. 


(නිමල් අබේසිංහ - රාවය )



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්