අයථා පරිදි මෙරට ධනය උගන්ඩාව, සීෂෙල්ස් වැනි රටවලට රැගෙන යාම ගැන කතාබහ පවතින්නේ

කාලයක පටන්ය. එහි සත්‍ය අසත්‍ය බව තවමත් තහවුරු වී නැත. එවන් පසුබිමක මෙරට ධනය රැගෙන ගිය බවට චෝදනා එල්ල වන අලුත්ම ගමනාන්තය වන්නේ යුරෝපයේ දිවයිනකි.

අගෝස්තු 12 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආන්දෝලනත්මක ප්‍රකාශයක් කරමින් මේ අනාවරණය කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවය.

ඔහු මේ බව කියා සිටියේ, අයථා පරිදි විදෙස් රටවලට රැගෙන ගිය මෙරට ධනය ‍ආපසු මෙරටට ගෙන්වා ගත යුතු බවට අරගල සමයේ දැඩි ඉල්ලීමක් ද පැවති පසුබිම තුළය.


දුමින්ද නාගමුවගේ චෝදනාව 

 
දුමින්ද නාගමුව ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එක්ව යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කරන ව්‍යාපාරයක් කරගෙන යන බවය.

"මේ සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී තරුණ සංගමය වගේ දාගත්ත අය, බලල්ලු ලවා කොස් ඇට බාවන්න හදනවා. අපි ඒගොල්ලන්ට කියනවා මෙන්න මේ කතාව. දැන් ටිරාන් අලස් ආරක්ෂක ඇමතිවිදිහට අපි දැක්කා පහුගිය කාලපරිච්ඡේදයේම සියලු උද්ඝෝෂණවලට පහර දෙනවා."

“අපි අභියෝග කරනවා මේ බලල්ලු ලවා කොස් ඇටබාවන්න හදන ඒ පක්ෂයට ඒ, දේශපාලන ව්‍යාපාරයට අපි අභියෝග කරනවා පුලුවන් නම් ටිරාන්ට විරුද්ධව වචනයක් කතා කරන්න පාර්ලිමේන්තුවේ. පුළුවන් නම් ටිරාන්ට විරුද්ධව වචනයක් කතා කරන්න. අපි මේකත් කියනවා.ටිරාන් එක්ක යුරෝපයේ දූපතකට සල්ලි ආයෝජනය කරන බිස්නස් එක ගැන පුලුවන් නම් රටට කියන්න.ඒ වෙළෙඳාම මොකද්ද කියලා කියන්න.ඒ කරන් යන ඩීල් එක මොකද්ද කියලා කියන්න. ඒ නිසා දවල් මිගෙල් රෑ දනියෙල් කරන්න පුලුවන් ටික දවසකට.ඒක හැමදාම කරන්න බැහැ.” දුමින්ද නාගමුව අවධාරණය කළේය.

ඔහු මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අභියෝග කර සිටියේ “ඕගොල්ලෝ කියන්න ඕනේ රටට ටිරාන් එක්ක තියෙන මේ ගනුදෙනුව මොකද්ද කියලා. අපි ඒගොල්ලොන්ට කියනවා ඒක කියන්න කියලා.”

233edජනඅරගල ව්‍යාපාරයේ විදර්ශන කනන්ගර


මේ අතර, දුමින්ද නාගමුවගේ ප්‍රකාශයට පසු ජනඅරගල ව්‍යාපාරයේ විදර්ශන කනන්ගර ජනහමුවකදී කියා සිටියේ “මෝල්ටාවේ ටිරාන් සහ අනුර කුමාර ඇතුලු ඒ සන්ධානයෙන් මුදල් විශූද්ධිකරණ ආයෝජනයක් කරලා තියෙනවා කියන එකට ෆේස්බුක්වල ලොකු කතා බහක් යනවා. මේවා අහම්බ නෙමේ, කතාවක් තියෙනවා මේකේ. මම දන්න තරමින් මෝලටාවම නෙමේයි, මේක බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්.” ඔහු පැවසීය.

කෙසේ වෙතත් දුමින්ද නාගමුවගේ ප්‍රකාශයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පෝස්ට් පළවු අතර ජනතා විමුක්ති පෙරමුණ දෙසට ඇඟිල්ල දිගුවන ආකාරයේ සටහන් රැසක් දැක ගැනීමට හැකි විය.


CID විමර්ශන ඇරඹේ

දුමින්ද නාගමුවගේ මේ ප්‍රකාශය ගැන ජනතා විමුක්ති පෙරමුණ නිහඬ පිළිවෙතක් අනුගමනය කළද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ ගැන පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා දුමින්ද නාගමුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිත බවය.


බිලියන 10ක වන්දි ඉල්ලයි

රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්ට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චිට එරෙහිව එන්තරවාසි යවනු ලැබ තිබේ.

ඒ, අගෝස්තු 19 වැනිදා මැද කොළඹ පැවති ජනහමුවකදී තමාට විරුද්ධව අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශයක් කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමිනි.


නීතිඥ සුනිල් වටගල මාර්ගයෙන් අද දින (අගෝස්තු 22 වැනිදා) යවන ලද එන්තරවාසියේ දැක්වෙන්නේ දින 14ක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් සිවිල් අධිකරණයක ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

“ සජබෙ පක්ෂෙ හොඳයි ඇයි?අපේ කට්ටිය සමහර වෙලාවට එහේ කට්ටිය මෙහෙ මාත් හිටියේ එහේ ඒ නිසා උනුත් එකයි අපිත් එකයි ඒ නිසා ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි දැන් කියනවා මේක උදාහරණෙට අරගෙන අනුර කුමාර දිසානායක උනුත් එකයි මුනුත් එකයි ඒ නිසා බලය අපිට දෙන්න රාජාංගනේ හාමුදුරුවන්ට හම්බුනේ කෝටි දහයයි ලක් අම්මට හම්බුනේ ලක්ෂ අටයි නේ ඩෑන් අර රැට්ට පරට්ටට ලක්ෂ 50ක් ගිණුමට ආවානම් මේකට දැවැන්ත නායකත්වයක් දුන්න අනුර කුමාරට කියක් එන්න ඇත්ද? විදේශ රටවල් ගණනාවකින් අනුර කුමාරගේ ගිණුමට ඩොලර් ආවා ඒ ඩොලර් ඔක්කොම එකතු කරලා අන්න අනුර කුමාර දිසානායකගේ හෙළුව පේනවා මෝල්ටාවේ බිලියන 5ක් ආයෝජනය කරලා ඔන්න බඩු අන්න අපට දැන් පැහැදිලියි අනුර කුමාරගේ වැඩපිළිවෙල මොල්ටාවේ විජ්ජාව වැඩිකල් යන්න කලින් ඇත්ත හොයාගෙන අනුර මහත්තයෝ උඹට අපි දඩුවම් දෙනවා කියන කාරණාව නං ඉතා පැහැදිලිව මතක් කරනවා.” මැද කොළඹ පසුගියදා පැවති ජනහමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මෙලෙස අසත්‍ය සහ ද්වේශසහගත චෝදනාවක් නඟා ඇතැයි, ඔහුට යවන ලද එන්තරවාසියේ දැක්වෙයි.

මෙම ජනහමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සාගාර කාරියවසම් විසින් “බිලියන ගණන් සල්ලි ඇදලා මුල්‍යමය වංචාවක් කරලා තියෙනවා කියන මේ චෝදනාව නගන්නෙ අපි නෙවෙයි ඔවුන් සමගම එකට හිටපු පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහත්තයා දැන් කියනවා මේ චෝදනා ගෙනාවට මේවා ඔප්පු කරල පෙන්නන්න මං හිතන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය පඩිසන් දීල තියෙනවා.” යනුවෙන් අනුර කුමාර දිසානායකට එරෙහිව අසත්‍ය සහ ද්වේශසහගත චෝදනාවක් එල්ල කර ඇතැයි, ද එන්තරවාසියේ සඳහන් වෙයි.

මොවුන්ගේ මෙම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශසහගත චෝදනා මගින් අනුර කුමාර දිසානායකට බරපතල අපහාසයක් සිදුව ඇති බවත්, ඔහුගේ කිර්තිනාමයට මහත් වූ හානියක් සිදු වී ඇති බවත් නීතිඥ සුනිල් වටගල යවන ලද එන්තරවාසියේ සඳහන් වෙයි.

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමග එක්ව යුරෝපයේ දුපතක මුදල් ආයෝජනය කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජනබලවේගය මෙතෙක් නීතිමය පියවරක් ගෙන නොමැත.


"මම වැරදිනම් මට ඇක්ෂන් ගන්න.එයා බොරු නම් කියලා තියෙන්නේ එයාට ඇක්ෂන් ගන්න"

ජනතා විමුක්ති පෙරමුණ හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කරන බවට, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන්ද බීබීසී සිංහල විමසා සිටියෙමු.

එහිදී ඔහු එම චෝදනාව සම්පූර්ණයෙන්ම බැහැර කළේය.

අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ, "දුමින්ද නාගමුවට දැන් තියෙන සාක්ෂි ඔක්කොම දෙන්න පුළුවන් නේ. ඒකයි මම මගේ පැමිණිල්ල දැම්මේ.”

“මම හැම තිස්සෙම CID ඒකට, පොලිසියට කියන්නේ තරාතිරම නොබලා වැරදිකරන අයට ඇක්ෂන් ගන්න කියලා.” ඔහු පැවසීය.

“ඒ විදිහට මම වැරද්දක් කරලා නම් ඇක්ෂන් ඒකක් ගන්න ඕනේ. මෙහෙ සල්ලි අරන් ගිහිල්ලා වෙන දූපතක තැන්පත් කරනවා කියන්නේ වැරදියි. ඉතින් ඒක හින්දා තියෙන සාක්ෂි ඔක්කම අරගෙන ෆුල් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා මං කිව්වේ අධිකරණයටත් රිපෝට් කරලා ඇක්ෂන් අරගන්න. හැබැයි ඒක බොරු ප්‍රකාශයක් නම් ඒ බොරු කියපු එක්කෙනාට විරුද්ධව ඇක්ෂන් ගන්න. එච්චරයි මම කිව්වේ පැමිණිල්ලෙන්.”

මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේ “මම වැරදිනම් මට ඇක්ෂන් ගන්න ඕනේ. එයා බොරු නම් කියලා තියෙන්නේ එයාට ඇක්ෂන් ගන්න ඕනේ.”
“දූපතක් කියලා නේ කියන්නේ. එයා ඇවිල්ලා කියන්න ඕනේ කොයි දූපතේ, කොයි බැංකුවකද, කොහෙද තියෙන්නේ.හැම එකම එයාට කියන්න පුළුවන් නේ. දැන් එයා දැනගෙනනේ ඔය කිව්වේ”

“මෙහෙම මේ දේශපාලනයේ කටට එන එන එක කියලා. හිතලා බොරු හදලා මඩ ගහන දේශපාලනය නවතින්න ඕනේ. ඒක හින්දමයි මම මේ ඇක්ෂන් එක ගත්තේ.” ඔහු වැඩිදුරටත් පැවසීය.

tiran Aමහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් චෝදනාව සම්පූර්ණයෙන්ම බැහැර කළේය.


“ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමතිකමින් අයින් කරන්න”

මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට නම් ටිරාන් අලස්ගෙන් සී.අයි.ඩීයට නියෝග නිකුත් කිරීමේ බලය ඉවත් කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඔහු සඳහන් කළේ, “සී.අයි.ඩී , සී.අයි.ඩී කිව්වට එයා මහජන ආරක්ෂක ඇමති. සී.අයි.ඩී එක තියෙන්නේ ඔහු යටතේ. ඔහු විසින් අණ දෙන ආයතනයක් හරහා ඔහු පරීක්ෂණයක් කැඳවලා තියෙනවා. අපි කියපු කරුණක් සම්බන්ධයෙන්.” පුබුදු ජයගොඩ සඳහන් කළේය.

“ටිරාන් අලස් කොහොමත් විවිධ ජාවාරම් සඳහා කුප්‍රකට පුද්ගලයෙක්. ඔහු කිසිදු මහජන අනුමැතියකින්, ඡන්දයකින් ආපු කෙනෙක් නෙමේ.දේශපාලන පක්ෂවලට තමන්ගේ මුල්‍ය බලය පාවිච්චි කරලා පක්ෂවලට, නායකයින්ට උදව් කරලා අපු කෙනෙක්. ඔහු ගත්ත ණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.”

පුබුදු ජයගොඩ පැවසුවේ “දුමින්ද සහෝදරයා චෝදනා කළේ විදෙස් ආයෝජන, විදෙස් සමාගම් ප්‍රමාණයක් තියෙනවා ඔහු සතුව ඒවා ලංකාවේ ලියාපදිංචි නැතිව විදේශ විනිමය යම් ආකාරයකට මුල්‍ය විශුද්ධිකරණයක් පිළිබඳ සැක කළ හැකි මට්ටමේ ව්‍යාපාර ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වේ. දැන් ඒක සම්බන්ධව පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනවා නම්, එවැනි පරීක්ෂණයක අවම සාධාරණයක් හරි වෙන්න තියෙන මූලික විදහ තමයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කිරීමේ බලය සහිත පුද්ගලයා ගැන පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන එක කිසි තේරුමක් නැහැ.එහෙම පරීක්ෂණයක් ඕනේ නම් ආණ්ඩුවේ අයට අපි කියනවා ඉස්සෙල්ලා ටිරාන් අලස්ව අයින් කරන්නකෝ මහජන ආරක්ෂක ඇමතිකමින්. සී.අයි.ඩීයට නියෝග පැනවීමේ බලය ටිරාන් අලස්ගෙන් අයින් කරන්නකෝ. අයින් කරලා ඊට පස්සේ පරීක්ෂණය තියන්න. කොහොම උනත් ඒ ඕනෑම ආකාරයක පරීක්ෂණයකට දුමින්ද නාගමුව සහෝදරයා සූදානම්. අපි සූදානමින් ඉන්නවා.”


ජනතා විමුක්ති පෙරමුණ මොකද කියන්නේ?

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිචාරය කුමක් දැයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් බීබීසී සිංහල විමසා සිටියෙමු.
"මොකක්වත් හරියට කියන්නේ නැතිව අපිට කියනවා යුරෝපයේ දූපතක සල්ලි දාලා තියෙනවා ඒ ගැන කියන්න කියලා. ඉතින් අපි මුකුත් දන්නේ නැත්නම්, අපේ සම්බන්ධයක් නැති නම් අපිට කියන්න දෙයක් නැහැනේ. අපි මොකටද පැමිණිලි කරන්නේ,මොකටද? කාටද පැමිණිලි කරන්නේ.?"

“එයා ටිරාන් අලස්ගේ නමටනේ කියන්නේ. ඒනිසා ටිරාන් අලස් පැමිණිලි කරලා තියෙනවා.එයා අපිට කියන්නේ එහෙම දූපතක ආයෝජනය කරලා තියෙනවාලු අපිට කියන්නලු.අපි චැලෙන්ජ් කරලාම සද්දෙ නැතිව ඉන්නවා. එයා කියන්නේ නැතිව. අපිට කියනවා කියන්න කියලා. අපි මොනවද කියන්නේ” හෙතෙම කියා සිටියේය.


‘අල්පෙනිත්තක හෝ මොකක් හරි කරලා තිබ්බා නම් අපි පහුවදා ඇතුළේ’
 
විදෙස් දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පක්ෂයේ ගම්පහ ආසන සමුළුව අමතමින් (අගෝස්තු 20 වැනිදා) අදහස් පළ කළේය.

ඔහු මෙහිදී අවධාරණය කළේ, “දැන් නයි මුගටි එක කොටේ නගින කාලේ. දැන් අපි දූපත්වල සල්ලි ආයෝජනය කරනවා කියලා කෙනෙක් කියනවා. කිව්වට පස්සේ, තිස්ස කුට්ටියා කියනවා අපිට දඬුවම් දෙන්න ඕනේ. එක දවසකින් මාව හිරේ යනවාලු. යවපන්කෝ හිරේ මාව, පව්.. මතක තියා ගන්න. හරිද. මමත්, අපේ පක්ෂයේ කිසිවෙක් මේ රටේ මහජනයගේ මුදල් සතයක් හොරකම් කරලා නැහැ. සතයක් නාස්ති කරලා නැහැ.එහෙම හොරකම් කරලා තියෙනවා නම් එහෙම නාස්ති කරලා තියෙනවා නම් මේ විදිහට අපිට දේශපාලනය කරන්න හම්බ වෙන්නෙ නැහැ.”

“දවසක් පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනන්දු කිව්වා මට වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම් දීමේ බලය තියෙනවා කියලා. මම නැඟිටලා කිව්වා මට ඒ බලය තිබ්බ නම්, ඉස්සරහා පේළියේ ගොඩක් ඇය ඇතුළේ කියලා. කවුද ඉස්සරහා පේළියේ හිටියේ මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල, කෙහෙලිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, ඒගොල්ලේ තමා ඉස්සරහා පේළියේ හිටියේ. එස්.බී දිසානායක, ඒගොල්ලෝ ආණ්ඩුවේ. මහින්ද අගමැති.ගෝඨාභය ජනාධිපති.ඒගොල්ලෝ බලය තියෙනකොට අපිට කියනවා , අපි අතේ බලය තිබුණා නම් ඕගොල්ලෝ ඇතුළේ කියලා. සහතිකයි. හැබැයි ඒගොල්ලෝ බලය තියෙන වෙලාවේ ඒ විදහට අපිට කියනවා නම්, අපි අල්පෙනිත්තක හෝ මොකක් හරි කරලා තිබ්බා නම් අපි පහුවදා ඇතුළේ. නැද්ද.නැද්ද. ගෝඨාභය රාජපක්ෂ කොමිසමක් දැම්මා.පුරවැසිභාවය අහෝසි කරන්න ඕනේ කියලා. කොමිසමේ නිර්දේශයක් ආවා පුරවැසිභාවය අහෝසි කරන්න කියලා. ඊළඟට ඒ නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා තව කොමිසමක් දැම්මා. කොමිසම ඉවර වෙනකොට ගෝඨාභය ගෙදර.”

“අපි මඩ අවලාද අසත්‍ය ඒවට කිසිසේත්ම සැලෙන දේශපාලන ව්‍යාපාරයක් නෙමේ. හැබැයි අපි දන්නවා මේවා පොම්ප කර කර පොම්ප කර කර ඉදිරියට වර්ධනය කරනවා. ඇයි, ගොඩනැගිලා තිබෙන්නේ ලංකාවේ විශේෂයෙන්ම දේශපාලන කඳවුරු දෙකක්. මේ අහිමි වෙන්න යන්නේ කුමක්ද? මේ අහිමි වෙන්න යන්නේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුරය විතරක් නෙමේ. මේ අහිමි වෙන්න යන්නේ රුවන් විජයවර්ධන පිළිබඳ රනිල් දකින හීනය. මේ අහිමි වෙන්න යන්නේ රාජපක්ෂගේ මන්ත්‍රී ධුරය විතරක් නෙමේ මහින්දගේ. මේ අහිමි වෙන්න යන්නේ නාමල්ගේ අනාගතය පිළිබඳ දකින සිහිනය. මතක තියා ගන්න. මේ අහිමි වෙන්න යන්නේ මැති අමැතිවරුන්ගේ දේශපාලන අනාගතය විතරක් නෙමේ. ඒගොල්ලන්ගේ බිරින්දෑවරුන්ගේ ඒගොල්න්ගේ දරුවන්ට එගොල්ලන්ගේ සිතියමේ දේශපාලන සිහිනය.” අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසීය.


සමාජ මාධ්‍ය වල සංසරණය වූ පොස්ටු සම්බන්ධයෙන් නිරවද්‍යතාවය පරික්ෂා කරන වෙබ් අඩවි කියන්නේ කුමක්ද?

'Fact Cresendo' වෙබ් අඩවිය පවසන්නේ, ජනතා විමුක්ති පෙරමුණ හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා එක්ව ගනුදෙනුවක් සිදු කරන බවත්, ඒ පක්ෂ අරමුදලේ මුදල්, යුරෝපීය රාජ්‍යයක මුදල් ආයෝජනය කරන බවටත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක දී කළ ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍ය සටහන් රැසක් නිර්මාණය වූ බවය.

ඒ අනුව “අනුර මෝල්ටාවෙ ආයෝජනය කළේ, හොරාකපු සල්ලි නෙවෙයි. එය ජනතාව වෙනුවෙන් කළ දෙයක්” – නමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක විසින් ප්‍රකාශ කළ බවට සඳහන් කරමින් සටහනක් සංසරණය වී ඇති අතර නිරවද්‍යතාවය සදහා තොරතුරු විමර්ශනයේදී බිමිල් රත්නායක එවැනි ප්‍රකාශයක් කර නොමැති බව අනාවරණය වී ඇතැයි ද 'Fact Cresendo' වෙබ් අඩවිය සඳහන් කොට තිබේ.

එමෙන්ම “සොරකමක හා ආයෝජනයක වෙනස නොදන්නා මුග්ධයින්ට උත්තර දෙන්න අපි බැඳී නැහැ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කළ බව කියන ප්‍රකාශයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර ඔහු එවැනි ප්‍රකාශයක් කර නොමැති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා කළ පරීක්ෂණයේදී මෙන්ම සුනිල් හඳුන්නෙත්තිගෙන් කළ විමසීමේදී තහවුරු වූ බව එහි වැඩි දුරටත් සදහන් කොට තිබේ.


(BBC සිංහල සේවය)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්