යුද්ධයෙන් බැට කෑ දෙමළ වැසියන් දීර්ඝ කාලයක් පුරා ඉල්ලා සිටින ජාත්‍යන්තර සහභාගීත්වය ද ඇතුලත් සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ යාන්ත්‍රණයක් ඇති කිරීම වෙනුවට, සත්‍ය සහ සංහිඳියාව පිලිබඳ වන කොමිසමක් (TRC)
ඇතිකිරීමේ රජයේ සුදානමට උතුරු නැගෙනහිර දෙපළාතේ අතුරුදහන් කළවූන්ගේ පවුල් වල ඥාතීන්ගේ දැඩි විරෝධය පළ වී තිබේ.

සිය ආදරණීයයන්ගේ ඉරණම හෙළි කර ගැනීම සදහා දින 2382 ක් තිස්සේ කුසට නිසි ආහාරයක් පවා නොමැතිව අව් වැසි නොතකා වීදියේ අඛණ්ඩ අරගලයක යෙදී සිටින දෙමළ මවුවරුන් අතුරුදහන් වූවන් වෙනුවෙන් වෙන් වු ජාත්‍යන්තර දිනය යෙදී තිබු අගෝස්තු 30 බදාදා මන්නාරමේ සහ මඩකලපුවේ දැවැන්ත විරෝධතා පෙළපාලි පවත්වමින් එක හඩින් කියා සිටියේ "OMP එපා!", "TRC එපා!" යනුවෙනි.

උතුරු සහ නැගෙනහිර දෙපළාතේ  බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් එදින මඩකලපුවේදී නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇත්තේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 187 දෙනකු සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර ඇති බවයි.


 ශ්‍රී ලංකා රජයට කාලය ලබා දෙමින්, කාලය ප්‍රමාද කරමින් "සෘජුව ඇසින් දුටු සාක්ෂිකරුවන් 187" විනාශ කිරීම පමණක් ඉතිරිව ඇති බව පෙන්වා දෙන එම නිවේදනය මගින් ඔවුන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබුනේ තවත් අභ්‍යන්තර යාන්ත්‍රණයක්  බලෙන් පටවා තව දුරටත් සාක්ෂි විනාශ කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසයි.

"TRC නමින් තවත් අභ්‍යන්තර යාන්ත්‍රණයක් අප මත බලෙන් පටවා කාලය ඇදගෙන යාමට උදව් කරමින්, ඇසින් දුටු සාක්ෂිකරුවන් වන අප මරණයට පත් කරමින් සාක්ෂි විනාශ කිරීමට උදව් කරන්න එපා. මෙම අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනයේදී අපි නැවත වරක් අපගේ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) හෝ විශේෂ අධිකරණයක් වෙත හෝ යොමුකර අපිට කඩිනමින් යුක්තිය ඉටු කරන පිණිසයි."
 
අගෝස්තු 30 වැනිදා පෙරවරුවේ මඩකලපුව කල්අඩි පාලම අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියෙන් මඩකළපුව ගාන්ධි උද්‍යානයේ ස්ථාපිතකර තිබෙන මරා දැමූ ජනමාධ්‍යවේදීන්ගේ ස්මාරකය දක්වා අතුරුදන් තම සමීපතමයන්ගේ ඡායාරූපද අතැතිව පැමිණි උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක අටම නියෝජනය කරන බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් ප්‍රමුඛ පිරිස සිය විරෝධය අවසන් කර තිබුනේ දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් වාර්තාකරණයේ යෙදීම නිසා ඝාතනයට ලක්වු සියළු මාධ්‍යවේදීන්ද අනුස්මරණය කරමිනි.
 
කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සොයාගැනීම වෙනුවෙන් දහතුන් අවුරුද්දක් තිස්සේ අරගල කරන මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇගේ සැමියාගේ ඉරණමට ගොදුරුවූ සමීපතමයන් දහස් ගණනකගේ නෑසියන් සමග පෙළපාලියේ ගොස් එම සමරුවට හවුල් වූවාය.

 
  උතුරු සහ නැගෙනහිර දෙපළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් මඩකලපුවේදී නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව තිබුනේ දෙමළ ජනයාට සාමයෙන් ජීවත්වීමට නම් ස්ථිර දේශපාලන විසදුමකට පැමිණිය යුතු බවයි.

" අද වෙනකං වර්ග සංහාරය බෞද්ධ කරණය, දිගටම සිදු වෙනවා. මේ තත්වය වෙනස් වෙලා දෙමළ ජනතාව මේ රටේ සාමයෙන් ජීවත් වෙන්න මේ රටේ සාමය පවත්වාගන්න ස්ථිර දේශපාලන විසදුමකට පැමිණිය යුතුයි. මේ විසඳුම, ජාත්‍යන්තර අධික්ෂණයෙන් උතුරු නැඟෙනහිර පළාත්වල ජීවත් වෙන ජනතාවගේ කෙරෙන ජනමත විචාරණයක් හරහා තිරණය කළ යුතුයි."

මන්නාරමෙන් හමු වූ රටේ විශාලතම සමූහ සුසානය අසලින්, අතුරුදහන් වූවන්ගේ දිනය නිමිත්තෙන් අගෝස්තු 30 වැනිදා පෙරවරුවේ ආරම්භ කළ දැවැන්ත පාගමනින් අතුරුදහන් තම සමීපතමයන්ගේ ඡායාරූපද අතැතිව මන්නාරම ක්‍රීඩා පිටිය දක්වා පැමිණි උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක අටම නියෝජනය කරන දෙමළ මව්වරු, අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සහ සත්‍ය සහ සංහිඳියාව පිලිබඳ වන කොමිසමක් (TRC) ප්‍රතික්ෂේප කරමින් දැඩිව කියා සිටියේ යුක්තිය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

 උතුරු සහ නැගෙනහිර දෙපළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් මන්නාරමේදී නිකුත් කළ නිවේදනයේ සදහන්ව ඇත්තේ අනුප්‍රාප්තික සිංහල ජාතිවාදී ආණ්ඩු යටතේ දෙමළ මව්වරුන්ට සහ කාන්තා ක්‍රියාකාරීන්ට එරෙහි හිරිහැර සහ තර්ජන උත්සන්න ඇති බවයි.
"හමුදා බුද්ධි අංශ නිලධාරීන් අපේ ගෙවල්වලට ඇවිත් උද්ඝෝෂණවලට සහභාගි වෙන්න එපා කියලා තර්ජනය කරනවා. තවත් සමහර මව්වරුන්ට මේක විශාල ප්‍රශ්නයක්."

විරෝධතා කාරියන්ට රාජ්‍ය ආයතන වලින් සේවා ලබා ගැනීමේදී අත්විඳීන්නට වන අපහසුතාවයන් ද එහි සදහන් කොට තිබේ.

"අපි උද්ඝෝෂණවලට සම්බන්ධ බව නිලධාරීන් දන්නා නිසා අපට රජයේ සේවාවන් ලබා ගැනීමටත් බැංකුවලින් ණය ගැනීමටත් බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා."

බලහත්කාරයෙන්  අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමේ අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් නොවු වසර පහ හමාරක් වයසැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වත්මන් සභාපති මහේෂ් කටුදන්ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා සදහන් කර තිබුනේ, යුද වින්දිත මව්වරුන්ට වකුගඩු සැත්කම්වලදී විශේෂ පහසුකම් ලබා දෙන බවයි.

"වකුගඩු ඔපරේෂන් එකකට ඉන්නවා මාස ගානක් පොලිමේ.  එවැනි අවස්ථාවක අපි මේ ගණයේ අයට, වෛද්‍යවරුන්ට කතා කරලා ඒ රජයේ යාන්ත්‍රණයට කතා කරලා ඔවුන්ට ඒ විශේෂ පහසුකම් දෙනවා." නීතිඥ මහේෂ් කටුදන්ද සදහන් කර තිබුනි.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

 
යුද්ධාවසානයේ රජයේ හමුදාවට භාරවීමෙන්ද, පැහැරගනු ලැබීමෙන්ද අනතුරුව අතුරුදහන් කරන ලද සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගැනීම සඳහා දෙමළ ජනතාව ඉකුත් පහළොස් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මැදිහත්වීමකි.

රාජ්‍ය ආරක්ෂක අංශ ප්‍රධාන සැකකරුවන්ව සිටින බැවින්, යුද අපරාධ චෝදනා පිලිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට දේශපාලනික උවමනාවක් නොමැති බව මානව හිමිකම් ක්‍රියාකාරීන් දිගින් දිගටම පෙන්වා දී තිබේ.

බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන් වෙනුවෙන් යුක්තිය ලබා දෙන බව පවසමින් ආණ්ඩුව යෝජනා කර තිබෙන අතුරුදන්වූවන් සඳහා නිකුත් කරන සහතිකය ලබා ගැනීමත්, වන්දි මුදල් ලබා ගැනීමත් තම සමීපතමයන් අහිමිව සිටින යුද වින්දිත දෙමළ මව්වරුන් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳ සිය යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගෝස්තු 9 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුවවේ සිදු කල  විශේෂ ප්‍රකාශයේදී ඔහු සදහන් කර තිබුනේ උතුරු නැඟෙනහිර ජනතාවට යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාව තමන් යළිත් අවධාරණය කරන බවයි.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිලි 21,374 න් 3,462 ක විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර ඉතිරි පැමිණිලි සඳහා විමර්ශන ප්‍රගතියක් ලබන අතර, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමෙන් පසු මෙම ක්‍රියාවලිය වේගවත් විය හැකි බව ඔහු සදහන් කර තිබුනි.

 
දෙමළ වර්ග සංහාරය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන 13800කට අධික ප්‍රමාණයක් සිදු කළ ඒකාබද්ධ අධ්‍යයන වාර්තා සෘජුව හෝ වෙබ් අඩවිය හරහා හෝ  එක්සත් ජාතීන්ගේ සංවිධානයට සාරාංශගතව දැනුම් දීමට අවස්ථාවක් ලබා දෙන ලෙස උතුරු සහ නැගෙනහිර දෙපළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් මන්නාරමේදී නිකුත් කළ නිවේදනය මගින් ඉල්ලා තිබුනි.

මන්නාරමේ සහ මඩකලපුවේ පැවැති විරෝධතා සදහා අතුරුදහන් වුවන්ගේ පවුල් වල ඥාතීන්ට අමතරව මානව හිමිකම් ක්‍රියාකාරීන්, දේශපාලන නියෝජිතයන්, කතෝලික පියතුමන් ඇතුළු විශාල පිරිසක් එක් වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්