වසර ගණනාවක් තිස්සේ එක සමාගමකින් වැඩි මිලට ඖෂධ මිලදී ගෑනීම හරහා එක්සත් ජනපද ඩොලර් කෝටි 10ක් හෙවත් රුපියල් බිලියන 30ක් මහජන මුදලින් එම සමාගමට දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි. 

මෙම හෙලිදරව්ව කරනු ලැබුවේ සැප්තැම්බර් 18 දින පෑවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසිනි. 

එහිදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිලිතුරු දෙමින් ඔහු පහත කරුණු ඉදිරිපත් කළේය.

"ඖෂධ ක්ෂේත්‍රයේ සිදුවන අපරාධ වලට නිදසුනක් ලෙස එක මිලදී ගැනීමක් ගැන කියන්නම්. විකිරණ ප්‍රතිකාර ගන්න පිළිකා රෝගීන් සහ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගන්න වකුගඩු රෝගීන් ඇතුළු රෝගීන් සඳහා භාවිතා වන ඖෂධයක් තියෙනවා Erithropoietin Alpha Injection කියලා. ඒකේ විවිධ ප්‍රමාණ වලින් ඖෂධ කුප්පිය නිකුත් වෙනවා, 4000 IU, 2000 IU, 1000 IU ආදී වශයෙන්. 

 

2018 - 2019 වකවානුවේ චීන සමාගමකින් 2000 IU මිලදී ගෙන තිබුණේ එකක් ඩොලර් ශත 90 ගණනේ. ඉන්දියානු සමාගමකින් 4000 IU මිලදී ගෙන තිබුණේ එකක් ඩොලර් 1.06 ගණනේ. ඒ කියන්නේ 1000 IU එක ඩොලර් ශත 50ට අඩුවෙන් ගන්න පුළුවන්. නමුත් 2018දී 1000 IU ඖෂධ කුප්පි 9000ක් Eureka Life Sciences කියන සිංගප්පූරු සමාගමෙන් ඇණවුම් කර තිබෙන්නේ එකක් ඩොලර් 34.78 ගණනේ. මේක වංචාවක් බව බැලූබැල්මට පෙනෙනවා. අපි හිතමු 1000 IU වෙනුවට 2000 IU එකෙන් බාගයක් පාවිච්චි කළා කියලා. ඒ කුප්පි 9000ට යන්නේ ඩොලර් 8,100යි. නමුත් එකක් ඩොලර් 34.78 ගණනේ කුප්පි 9000ක් ගන්න ඩොලර් 313,110ක් වියදම් කරලා. තිබුණු ඒවායෙන් බාගයක් පාවිච්චි කරලා ඉතිරි ටික විසි කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලාබයි.

 

මේ කිව්වේ එක බෙහෙතක් ගැන. මේ Eureka Life Sciences කියන සමාගමේ ලංකාවේ දේශීය නියෝජිතයා ලෙස සිටින්නේ Yaden International කියන සමාගම. ඒ සමාගම වෙතින් මිලදී ගත් ඖෂධ ගණනාවක මේ ප්‍රශ්නය තිබෙනවා. ඒ සමාගමෙන් රජය ඖෂධ මිලදී අරන් තියෙන්නේ වැඩි මුදලට. මගේ අතේ මේ තියෙන ලේඛනයේ සඳහන් වෙනවා මෑත වසර කීපයේ ඒ සමාගමෙන් වැඩි මුදලට ඖෂධ මිලදීගත් ආකාරය. 

 

මේ පළමුවැනි ඖෂධය Acetazolamide Sodium එක වෙනත් සමාගම් වලින් අරන් තියෙන්නේ ඩොලර් 141.52කට. යාදෙන් සමාගමෙන් අරන් තියෙන්නේ ඩොලර් 281.52කට. 98.93%ක් වැඩිපුර ගෙවලා. මේ Adrenaline Bitartrate කියන ඖෂධය බලන්න. එතෙක් ඩොලර් 0.159කට ගත් ඖෂධය යාදෙන් සමාගමෙන් අරන් තියෙන්නේ ඩොලර් 10.03කට. මේ විදියට ආසන්න කාලයේ යාදෙන් සමාගමට වැඩිපුර දුන් මුදල ඩොලර් කෝටි 108,555,948.63ක්. ඩොලර් කෝටි 10ක් වගේ. ඒ කියන්නේ රුපියල් බිලියන 30ක් පමණ. 

 

මේවායේ කුට්ටිය යන්නේ කාටද? මේ සමාගම් සමග තිබෙන සම්බන්ධය මොකක්ද? මොකක්ද මේ ආදරේ? 

ලංකාවේ බුද්ධි ගලනය වැඩි වෙන්න බලපෑ, උසස් අධ්‍යාපනය - සෞඛ්‍ය සේවය වගේ සේවාවන් අඩපණ වෙන්න බලපෑ, වෘත්තිකයන් විදෙස්ගත වෙන්න බලපෑ උපයන විට බද්දෙන් වසරකට ලැබෙන්නේ බිලියන 48ක්. එක සමාගමකින් වැඩි මුදලට ඖෂධ ගෙන්වීම නිසාම බිලියන 30ක් නැති නාස්ති කරගෙන. මේ වගේ තව සමාගම් තියෙනවා. මේවායේ කුට්ටිය යන්නේ කාටද? 

අනෙක් අතට මේ වැඩි මිළක් ගෙවා ලබාගෙන තිබෙන ඖෂධ වල ගුණාත්මක ප්‍රශ්න තිබෙනවා. නිදසුනක් ලෙස 2020 වසරේ ඖෂධ වර්ග 80ක් ප්‍රමිතියෙන් තොර නිසා ඉවත් කරලා තියෙනවා. ඒ අතරින් වර්ග 19ක්ම ඒ කියන්නේ 23.7%ක්ම යාදෙන් සමාගමෙන් ගෙන්වූ ඒවා. 2021 වසරේ ප්‍රමිතියෙන් තොර බව තහවුරු වූ ඖෂධ වර්ග 120න් වර්ග 23ක් සහ 2022 වසරේ එලෙස ප්‍රතික්ෂේපිත ඖෂධ වර්ග 86කින් 10ක් මේ සමාගමෙන් ගෙන්වූ ඒවා. වැඩි මිලක් දීලා ප්‍රමිතියත් නැති ඖෂධ දිගින් දිගටම ගෙන්වන්න මේ සමාගම් සමග තිබෙන සම්බන්ධය මොකක්ද? මොකක්ද මේ ආදරේ? 

 

මේවා ගැන කතා කරන අයව ත්‍රස්තවාදීන් ලෙස නම් කරලා යටපත් කරන්න තමයි අද ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත් ගේන්නේ. ප්‍රමිතියෙන් බාල ඖෂධ නිසා මරණ අවදානමට ගොදුරු වෙන ජනතාව ඊට එරෙහිව නැගිටින එක නවත්වන්න තමයි ජාතිවාදය - ආගම්වාදය හරලා ඒ ජනතාව බෙදන්න යන්නේ. මර්දනයට බිය වෙන්නේත් නැතිව, අපව බෙදන උගුල් වල හසු වෙන්නේත් නැතිව මේ අපරාධ වලට එරෙහිව අරගල කළ යුතුයි. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ අපරාධ ඉදිරියේ නිහඬව ඉන්න එපා කියලා.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්