සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය නොදීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇතැයි
ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 20 වෙනිදා තීන්දු කරනු ලැබිය. 

එමෙන්ම පෙත්සම්කාර සමාගමට මාසයක් ඇතුළත විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තමන් කළ ඉල්ලීමට බාධා සිදුකරමින් ඊට අනුමැතිය නොදී මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ බවට පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණේ වව්නියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමක් විසිනි.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට එරෙහිවය.

එම සමාගම පවසන්නේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තමන් 2016 මැයි මස අයදුම්පතක් ඉදිරිපත් කළ බවය.

එම ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය බලධාරීන්ගෙන් අනුමැතිය ලැබුණු නමුත් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවමින් ඊට අනුමැතිය ලබා නොදුන් බවත් පෙත්සමේ සඳහන්ය. 

එම පැමිණිල්ල යසන්ත කෝදාගොඩ, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනුණ අතර එහි තීන්දුව යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
 
 
"රටේ ප්‍රමාණවත් බලශක්ති උත්පාදනයක් නැතිව ජනතාව පීඩාවට පත්වී සිටිනවා. ඒ නිසා විශාල වියදමක් දරා ඉන්ධනවලින් විදුලිය නිෂ්පාදනය කිරීමට පෙළඹී තිබෙනවා. මහජනතාව, වෙළෙඳ හා ආර්ථික ක්ෂේත්‍රය විශාල අගතියකට පත්වී සිටින්නේ දිගුකාලීන බලශක්ති අර්බුදය හේතුවෙන්. මේ නිසා පුනර්ජනනීය ප්‍රභව හරහා බලශක්තිය උත්පාදනය කරගැනීම ඉතා වැදගත්."  යනුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ සිය තීන්දුවේ කියා සිටියේය.
 
 
මෙම නඩුවට පාදක වන සිද්ධිය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත් ඒ තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් කෝදාගොඩ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඊට ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සෘජුවම වගකිව යුතු බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් බාධා පැමිණ වූ අවස්ථා මීට පෙර ද වාර්තා වු බවත් විනිසුරුවරයා අවධාරණය කළේය. 
 
 
"මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රාදේශීය බලධාරීන් අනුමැතිය ලබාදීම නිසා පෙත්සම්කරුවන් තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් නීත්‍යනුකූල අපේක්ෂාවක් ඇති වුණා. එය වගඋත්තරකරුවන් අඩාල කිරීම නිසා ඔවුන්ට විශාල මූල්‍යමය අලාභයක් සිදුවූ බව අධිකරණයේ මතයයි. ඔවුන්ට සිදුවූ අලාභය සම්පූර්ණයෙන්ම ගෙවීමට නොහැකිවීම ගැන කනගාටු වෙනවා. මන්ද එවැනි වන්දි මුදලක් ගෙවීමට සිදු වූවහොත් ඒ තුළින් රජයේ ඒකාබද්ධ අරමුදලට දැරිය නොහැකි බරක් පැටවෙනවා. එසේ වුවහොත් අපහසුතාවට පත්වන්නේ රටේ බදු ගෙවන ජනතාවයි." යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා, පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළේය.
 
 
එමෙන්ම පෙත්සම්කරුවන්ගේ සූර්ය බලශක්ති විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපිය වහාම නිකුත් කරන ලෙසත් ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කරනු ලැබීය.

එපමණක් නොව විදුලි ව්‍යාපෘතියට අවශ්‍ය බලපත්‍ර සුනිත්‍ය බලශක්ති අධිකාරි පනතේ විධි විධාන ප්‍රකාරව මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස එම අධිකාරියට නියෝග කෙරුණි.

එමෙන්ම මෙම බරපතළ සිද්ධියට අදාළව විමර්ශනයක් පවත්වා ඊට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නිසි නීතිමය පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් අධිකරණය විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරනු ලැබීය.

අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් නීතිපතිවරයා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

(adaderana.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්