යුද සමයේත් ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද කුඩා දරුවන් ඇතුළු

සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා  වන්නියේ විරෝධතාවයක්  දියත් කර තිබේ.

අතුරුදහන් කර සිටින සිය දරු දැරියන්ගේ ඡායාරූප ද ප්‍රදර්ශනය කරමින් අතුරුදහන් කරවීම් වලින් වඩාත්ම පීඩාවට පත් රටවල් තුනක් වන එල් සැල්වදෝරය, ගෝතමාලාව සහ ශ්‍රී ලංකාව ළමා දිනය සමරන ඔක්තෝබර් 1 වැනි ඉරිදා  මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවය ක්‍රියාත්මක කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ලෝක ළමා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කොට ඇත්තේ 1959 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියත් එයින් තිස් වසරකට පසු ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියත් යන දෙකම සම්මත කර ගත් නොවැම්බර් 20 වැනි දා යි.



මුලතිව් දිසා සහ මහේස්ත්‍රාත් විනිසුරු ටී. සරවණරාජාට සිය තනතුරින් ඉල්ලා අස්වීමට හේතු වු රජයේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධතා දියත් කළ මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්ගේ සංගමය විනිසුරුවරයකුට තර්ජන තියන රටේ  අපිට යුක්තිය කවදාද?, ජාත්‍යන්තරය ඇස් ඇරලා බලන්න, බාර දුන් පාසල් සිසුන් කෝ?, පවුල් පිටින් බාර දුන් ළමයි කෝ?, දෙමළ ළමයි ත්‍රස්තවාදියෝද? ආදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය දියත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.



ශ්‍රී ලංකා යුද හමුදාවේ කැඳවීම පරිදි යුද්ධයේ අවසානයට පෙරදා බාර වී අතුරුදහන් වූ 280 දෙනකු අතර අටමස් බිලිඳකුද ඇතුළු වයස අවුරුදු 10ට අඩු දරු දැරියන් 29 දෙනකු පිළිබඳ මානව හිමිකම් සංවිධාන විසින් ලේඛනගත කොට තිබේ.

එය එක් දිනක් තුලදී ලෝකයේ වැඩිම දරුවන් සංඛ්‍යාවක් අතුරුදහන් වූ අවස්ථාව එය බව ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පවසයි.

සිය ආදරණීයයන්ගේ ඉරණම හෙළි කර ගැනීම සදහා දින 2416 ක් තිස්සේ කුසට නිසි ආහාරයක් පවා නොමැතිව අව් වැසි නොතකා දෙමළ මව්වරු  වීදියේ අඛණ්ඩ අරගලයක යෙදී සිටිති.

{gallery}pretest in Vanni{/gallery}


විනිසුරු පලා යාම

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්  ද ඉල්ලා සිටිමින් විරෝධතා දියත් කළ මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී මාතාව අවධාරණය කළේ විනිසුරුවරයෙකු ජීවිත තර්ජන පවතින රටක අරගල කරන දෙමළ ජනයාගේ යුක්තිය අවිනිශ්චිත බවයි.

"මුලතිව් දිස්ත්‍රික්කයට යුක්තිය ලබා දීමට කටයුතු කරන විනිසුරුවරයෙකු ජීවිත තර්ජන හේතුවෙන් රටින් ගිහිල්ලා තියනවා. ඔවුන්ගේ තත්වය මෙහෙම නං අරගල කරන දෙමළ ජනතාවට ලැබෙන යුක්කිය මොකක්ද ?"

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය  යොමු කරමින් මුලතිව් දිසා සහ මහේස්ත්‍රාත් විනිසුරු ටී. සරවණරාජා දැනුම් දී තිබුනේ තමන්ට එල්ල වී ඇති ජීවිත තර්ජනය හේතුවෙන් අධිකරණ විනිසුරු තනතුරින් ඉල්ලා අස්වන බවයි.

"මා හට එල්ල වී ඇති ජීවිත තර්ජන සහ දැඩි ආතතිය හේතුවෙන්, මා හොබන දිසා විනිසුරු තනතුරින්, මහේස්ත්‍රාත් තනතුරින්, පවුල් අධිකරණ විනිසුරු තනතුරින්, ප්‍රාථමික අධිකරණ විනිසුරු තනතුරින්, සුලු හිමිකම් අධිකරණ විනිසුරු තනතුරින්, බාලක අධිකරණ විනිසුරු තනතුරින් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි."

කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියේ ඉදිකර ඇති කුරුන්දි විහාරයේ වැඩ අත්හිටුවමින් දී ඇති නියෝග ආපසු හරවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විනිසුරු වරයාට බලපෑම් කළ බව  දෙමළ ජනමාධ්‍ය වාර්තා කර තිබේ.



කොළඹ පලකෙරෙන ජනමාධ්‍ය පවසන්නේ විනිසුරුවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් ඔහු  දුන්  තීන්දු අවලංගු කරන නියෝග ඉල්ලා  ගොනු කොට ඇති පෙත්සම් තුනක් සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කරන ලද ඉල්ලීමක් අනුව නීතිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවති නමුත් බලපෑමක් නොකෙරුණු බවයි.  



මුලතිව් විනිසුරුවරයා විදේශගතව සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව උපුටා දක්වන අගනුවර ජනමාධ්‍ය පවසයි.

මහේස්ත්‍රාත් ටී. සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත උපදෙස් ලබා  දී ඇති බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්