මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ තිබෙන කරුණු බොහෝමයක් අධිකරණයේදී

ප්‍රතික්ෂේප වන බවත් මේ පනත ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය ප්‍රකාශ කරන බවත් රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට මේ පනත පටහැනි බවත් එනිසා මේ පනත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට බලකර සිටින බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවැසීය.

අදහස් ප්‍රකාශ කිරීමට සිවිල් සමාජයට අයිතියක් තිබෙන බවත් ඒ අයිතිය අඩු කිරීමේ වැඩපිළිවෙලක් මේ පනත හරහා සිදුකරගෙන යන බවත් මෙම පනත හරහා පුරවැසි අරගල පාලනය කරන්න ආණ්ඩුව උත්සහ කරන බවත් ඔහු සඳහන් කළේය.

සමාජ මාධ්‍ය හරහා සිදුකරන අකටයුතු ක්‍රියාවලට දඩුවම් ලබාදීමට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවශ්‍ය නොවන බවත් එවැනි ක්‍රියාවලට දඩුවම් ලබාදෙන්න ඕනෑතරම් නීති රීති රටේ තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මෙසේ ද පැවැසීය.

 

‘‘ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත රජය ඉදිරිපත් කරලා තියෙන්නේ රටේ කාන්තාවන් රටේ දරුවන් ආරක්ෂා කරන්න නෙවෙයි. මේ පනත රජය ඉදිරිපත් කරලා තියෙන්නේ වෙනත් අරමුණකින්. සමාජ මාධ්‍ය පමණක් නෙවෙයි සමස්ථ මාධ්‍ය පාලනය කිරීම සඳහා යොදා ගන්නා පනතක්.''

 

සාමාන්‍යයෙන් පනතක් ඉදිරිපත්කරන විට රටේ ලොකු සාකච්ඡාවක් තිබෙනවා. ජන සමාජ එක්ක සිවිල් සමාජ ආයතන සමඟ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට ඒ පනත යොමු කරනවා නැවත පාර්ලිමේන්තුවට යොමුකරනවා පාර්ලිමේන්තු කමිටු වලට යොමුකරනවා අවසානයේ තමයි ගැසට් කරන්නේ. සති දෙකක් තුළ අධිකරණයට යොමුකරලා ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලා සොයාබලා නැවත පාර්ලිමේන්තුවට යොමුකරලා තමයි ඡන්දයක් තියන්නේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා කොමිසමක් පිහිටුවන්න අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. කොමිසම කියන වචනය භාවිතා කරපු ගමන් සියලුදෙනා හිතන්නේ මේක ස්වාධීන දෙයක් කියලා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා පත් කරන කොමිසමේ සමාජිකයන් පත් කරන්නේ ජනාධිපතිවරයා. මේ කොමිසම ව්‍යවස්ථාදායක සභාවට එන්නේ නෑ. මේක ඒකාධිකාර වැඩපිළිවෙලක්.

මේ වැඩපිළිවෙලන් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතල සියල්ල එක තැනකට ගන්නවා. ජනාධිපතිවරයාට ඕන අය තමයි මේ කොමිසමට දාන්නේ. කාටවත් මේ ගැන ප්‍රශ්න කරන්න බෑ. ඒ පත්කරන කොමිසන් සභාව තමයි නීති රීති හදන්නේ.

 

මේ පනතට අධිකරණයට අරගෙන ගියාම අධිකරණය බලන්නේ ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කරුණු බොහෝමයක් අධිකරණයේදී ප්‍රතික්ෂේප වෙනවා. අධිකරණය ප්‍රකාශ කරයි මේ පනත ව්‍යවස්ථාවට පටහැනියි ඒ නිසා මේ පනතේ වෙනස්කම් කළ යුතුයි කියලා. රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට මේ පනත පටහැනියි. අපි කියන්නේ රජයට මේ පනත වහාම ඉල්ලා අස්කර ගන්න කියලා.

 

අදහස් ප්‍රකාශ කරන්න සිවිල් සමාජයට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අඩු කිරීමේ වැඩපිළිවෙලක් මේ පනත හරහා සිදුකරගෙන යනවා.කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය අඩු කිරීමේ වැඩපිළිවෙලක් මේ පනත හරහා සිදුකරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවක් තුළ විරුද්ධවීම අයිතිවාසිකමක්.මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා කරන්න හදන්නේ පුරවැසි අරගල පාලනය කරන්න හදන එක.

දරුවන්ට කාන්තාවන්ට සමාජ මාධ්‍ය හරහා හිංසනයන් සිදුවෙනවා. අපි ඒ ක්‍රියා අනුමත කරන්නේ නෑ. නමුත් එවැනි ක්‍රියාවලට දඩුවම් දෙන්න මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවශ්‍ය වෙන්නේ නෑ. ඒවගේ දේවල් වලට දඩුවම් දෙන්න ඇතිවෙනකන් නීති රීති රටේ තිබෙනවා. අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ එවැනි ක්‍රියා වලට දඩුවම් දෙන්න පුලුවන්.

 

අයවැයෙන් අදායම වෙනුවට වැඩි කරලා තිබෙන්නේ වියදම. ආරක්ෂ අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යාංශයේ වියදම් අයවැයෙන් වැඩි කරලා තියෙනවා. අධ්‍යාපනයට සහ සෞඛ්‍යට සුලු වැඩිවීමක් කරලා තියෙනවා. අනිත් අමාත්‍යාංශවල වියදම් වැඩි කරලා අධ්‍යාපනයට සහ සෞඛ්‍යට යන වියදම වැඩි කරලා වැඩක් නෑ. අනිත් අමාත්‍යාංශවල වියදම් කපලා අධ්‍යාපනයට සහ සෞඛ්‍යට යන වියදම වැඩි කරන්න ඕන.

 

ආසියාවේ රටවලින් වැඩිම ආරක්ෂක වියදමක් තියෙන්නේ ලංකාවේ. ලංකාව ආරක්ෂක වියදම් සඳහා සියයට 10 ක් වෙන් කරනවා. ඉන්දියාවේ වෙන් කරන්නෙත් සියයට 9 යි. මේක පාලනය කළ යුතුයි. ඒ වියදම් පාලනය කරලා අධ්‍යාපනයට සහ සෞඛ්‍යට යන වියදම වැඩි කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා ලංකාවේ දූෂිත පාලනය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එලෙස ප්‍රකාශයක් කළ ආසියාවේ පළමු රට වෙන්නේ ලංකාව.

විශේෂ වෙළඳ බද්ද යොදාගන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතිව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ කරුණු වල සඳහන් වෙනවා. බදු ගන්නවානම් පාර්ලිමේන්තු අනුමැතියක් තියෙන්න ඕන. බදු අඩු වැඩි කරනවානම් පාර්ලිමේන්තු අනුමැතියක් තිබිය යුතුයි යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වෙනවා.

 

ශ්‍රී ලංකා ගුවන් සේවයේ ආහාර සැපයීමේ ආයතනය සහ බඩු භාණ්ඩ පාලනය කිරීමේ ආයතනය ලාභ ලබනවා නමුත් ශ්‍රී ලංකා ගුවන් සේවාව බිලියන 400 කට වැඩි මුදලක් අලාභ ලබලා තියෙනවා. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා සිවිල් ගුවන් සේවා සංශෝධන පනන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියනවා මේ ආයතන සියල්ල රජයට අයිති වෙන්න අවශ්‍ය නෑ. මේවා පුද්ගලික අංශයට ලබාදෙන්න පුලුවන් කියලා. තව කියනවා තරගකාරීත්වයක් ඇති කරන්න පුද්ගලික අංශයට ආහාර සැපයීමේ ආයතනයක් සහ බඩු භාණ්ඩ පාලනය කිරීමේ ආයතනයක් ආරම්භ කරන්න පුලුවන් කියලත් ඇමැතිවරයා කියනවා.

 

සිවිල් ගුවන් සේවා සංශෝධන පනන හරහා ආහාර සැපයීමේ ආයතනය සහ බඩු භාණ්ඩ පාලනය කිරීමේ ආයතනය විකුණලා ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රශ්නය විසදුවේ නැත්නම් දුෂණ ඇතිවෙන්න පුලුවන්. තරගකාරීත්වයට අපි එකඟයි. හොරකමට වංචාවට අපි එකඟ නෑ. ‘‘

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්