"ලොව ඇත්තේ යාම් ඊම් ය. නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය." යනුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ "මළගිය ඇත්තෝ" හි පාඨයක් උපුටා

දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාට ශෝකය පළ කරයි.

ජනාධිපතිවරයා එම ශෝක පනිවිඩයෙන් මෙසේද පවසයි.

"ලොව වෙසෙන අප සියල්ලම මේ සත්‍යයට යටත්ය. කවදා හෝ අපට යන්නට සිදුවෙයි.

බහු විධ කලා නිපුණයකු වූ ජැක්සන්ට ද අප අතැර යන්නට කාලය එළැඹ ඇත. නමුදු මේ තරම් ඉක්මනින් ඔහු යතැයි අප කිසිවකු සිතූයේ නැත.

ඔහුගේ නික්මීම ලාංකේය කලා නිර්මාණ ක්ෂේත්‍රයට සිදු වූ අති මහත් පාඩුවක් සේ මම දකිමි.

 පසුගිය දින කීපය පුරා බොහෝ දෙනෙක් ජැක්සන්ගේ නිර්මාණ භූමිකාව ගැන අදහස් දැක්වූහ. එහිදී අතපසු වූ එක් කරුණක් පිළිබඳව විශේෂ අවධානයක් කිරීමට මම කැමැත්තෙමි. ඒ ඔහු නවකතාකරුවකු ලෙස දැක්වූ ප්‍රතිභාවයි.


"කන්ද උඩ ගින්දර" ජැක්සන් ලියූ මුල්ම නවකතාවයි. එහි දෙවන කොටස ලියන්නට ජැක්සන් සූදානමින් සිටි බව මම දනිමි. නමුත් එය අවසන් කර ගන්නට කලින් ඔහුගේ ජීවිතය අවසන් විය. එය ද කනගාටුවට කරුණකි".

ඔහුගේ අභාවය පිළිබඳව මගේත් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් සංවේගය පවුලේ සියලු සාමාජිකයන් හා නෑදෑ හිත මිතුරන් වෙත මෙසේ පිරිනමමි.

අවසාන වශයෙන් තවත් කරුණක් සඳහන් කළ යුතුය.ජැක්සන් ගේ ජීවිතයේ යම් යම් භාවිතාවන් තියුණු විවේචනයන්ට බඳුන් වූ අවස්ථා තිබිණි.ඒ වගත් සිහිපත් කරමින් ඔහු අනු දත් ධර්මයට අනුව බයිබලයේ එන මේ වැකි කීපය උපුටා දක්වනු කැමැත්තෙමි.

 " විනිශ්චය නොකරන්න ,එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහිය. ඔබ දෙන විනිශ්චයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ.(බයිබලය-නව ගිවිසුම)

 
බහුවිධ කලා කුසලතාවන්ගෙන් සපිරි ජැක්සන් ඇන්තනීට මෝක්ෂ සුවය ලැබේවා.

 
ජැක්සන් අන්තනී මහතා ගේ අවසන් කටයුතු අද


අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිත ව තිබේ.

රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේ අද සවස 03ට ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරු ව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

ජැක්සන් ඇන්තනී මහතා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින කිහිපය තුළ ආගමික නායකයන්, කලාකරුවන්, දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක් ඔහු ගේ නිවසට පැමිණි ආකාරය දැකගත හැකිය.

රිය අනතුරකට ලක් ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා, පසුගිය සදුදා අලුයම අභවප්‍රාප්ත විය.

රංගන ශිල්පියෙක්, ගී පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයකු ලෙස සිය ප්‍රතිභාපූර්ණ හැකියාව පෙන්නුම් කළ ඒ මහතා මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදියකු ද වේ.

ගුරුගෙදර, අයෝමා, ලොකු දුව, සූරිය අරණ, අග්නිදාහය, මිල්ල සොයා, ප්‍රවේගය, ඇඩ්රස් නෑ සහ ධර්ම යුද්ධය ඇතුළු චිත්‍රපට බොහෝමයකට ඔහු  සිය රංගනයෙන් දායක විය.

ඒ මහතා රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස ද සිය හැකියාවන් පෙන්නුම් කර තිබේ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්