කැනීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන මුලතිව්, කොක්කුතොඩුවායි සමූහ මිනීවල අවට CCTV කැමරා පද්ධතියක් සවිකර තිබේ.

කැනීම් කටයුතු වල ඉදිරි තත්වය සම්බන්ධයෙන් අගනගරයේ මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සිරුරු ගොඩගැනීමේ කටයුතු භාරව සිටින මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව පවසා ඇත්තේ, සමූහ මිනීවලේ ආරක්ෂාව වෙනුවෙන් තමන් විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ටෙන්ඩර් කැදවා එම CCTV කැමරා සවිකර ඇති බවයි.  

කැමරා සවි කිරීමේ කටයුතු ද සිය අධීක්ෂණය යටතේ සිදු වු බව පවසන අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව, තවත් සති දෙකක පමණ කාලයක් කැනිම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ඉතිරිව පවතින බැවින් ඔක්තෝබර් 30 වැනිදා හෝ නොවැම්බර් 1 වැනිදා කැනීම් කටයුතු යළි ආරම්භ කිරීමට සුදානම් බවද ප්‍රකාශ කර තිබේ.

 සමුහ මිනි වලේ කැනීම් කටයුතු සදහා වෙන් කර තිබුනේ රුපියල් ලක්ෂ 57 ට ආසන්න මුදලකි. අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට, ගණකාධිකාරී (අධිකරණ පරිපාලන) විසින් මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත අගෝස්තු 22 දා "කොක්කුතුඩුවායි, මුලතිව් හි දී හමුවූ මිනිස් සිරුරු කොටස් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් විමර්ශනය සඳහා වන ඇස්තමේන්තුව" මැයෙන් යවන ලද ලිපියක සදහන් වන්නේ රුපියල් ලක්ෂ 5,663,480.00ක මුදලක් වෙන් කරන බවයි.

සැප්තැම්බර් 15 වැනි දා කැනීම් කටයුතු තාවකාලිකව නිමා කරමින්, සිරුරු ගොඩගැනීමේ කටයුතු විමර්ශනයට පුරෝගාමී වී සිටි වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කර තිබුනේ, සිදු කළ කැනීම් වල දී හමුවු සාක්ෂි විශ්ලේෂණය සදහා කැනීම් කටයුතු තාවකාලිකව නතර කරන බවයි.

"දැනට ලැබී තිබෙන සාක්ෂි ක්‍රමානුකුලව විශ්ලේෂණය කිරීම සදහා මාස 2 ක පමණ කාලයකට මේ පරීක්ෂා කිරීම නතර කරලා තියනවා. ඉතින් මේ මුලික විශ්ලේෂණ කටයුතු වලදී  අධිකරණ වෛද්‍ය නිලධාරීතුමන්ලගෙත්, අපි කරපු ඒ සොයා ගත්තු ද්‍රව්‍යමය සාක්ෂිත් විශ්ලේෂණයට ලක් කරලා අපි ගරු අධිකරණයට වාර්තාවක් ලබා දීමට නියමිත තිබෙනවා. ඊට පස්සේ අපි මේ සමීක්ෂණය, පරීක්ෂණය තවදුරටත් කරගෙන යනවද නැද්ද කියන එක ගරු අධිකරණය තීරණය කරනතුරු අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. කුමන තිරණයක් ලැබේද කියන කාරණය."

මුලතිව්, කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින නමයක් ගත වෙද්දී, පුද්ගලයන් දාහත් දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි. ඒ අතර එල්.ටී.ටී.ඊ සාමාජිකාවන්ගේ බවට සැක කෙරෙන සාක්ෂි කිහිපයක් ද විය.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

CCTV

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image