ක්‍රිකට් සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනු කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ

සභාපති ශම්මි සිල්වා ව අද (13) දහවල් ජනාධිපති කාර්යාලයට කැඳවා තිබිණ.  

පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් ලබාදී ඇති වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට පසුගිය නොවැම්බර් 6 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රිගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර,  කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවට පැවරි ඇත.

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පත්කළ කමිටුව

පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් දස පුද්ගල කමිටුවක් මිට ඉහතදී පත් කර තිබිණ.

ඒ අනුව එම කමිටුව විසින් සකස් කරන ලද යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පසුගියදා භාර දෙනු ලැබිය.


මෙම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කිරීමේ ක්‍රමවේදය මුළුමනින් වෙනස් කිරීමට යෝජනා කර තිබෙන අතර එහි සංයුතිය, පරිපාලනය සහ කළමනාකරණය ද සංශෝධනය කර ඇත.


ඒ අනුව යෝජිත නව ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වසර 4ක කාලසීමාවකට පත්වන 18 දෙනකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් මඟින් පාලනය කිරීමට යෝජනා කර තිබේ.

එම අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට බලතල ලබාදී එම තීරණ ක්‍රියාත්මක කිරීමේ බලතල, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයකු වෙත ලබාදීමට යෝජනා කර ඇත.

එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 8 දෙනකු, නම් කළ අධ්‍යක්ෂවරුන් වන අතර ඔවුන්ව නිර්දේශ කිරීමේ බලය 06 දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවකට පවරා ඇත.

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ (CIMA Sri Lanka) සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු වශයෙන් එම කමිටුවට යෝජනා කර තිබේ.

සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනා පත් වන්නේ නිලවරණයක් හරහායි.

එම නිලවරණය මඟින් ක්‍රිකට් සමාජ නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් 5ක්, ක්‍රීඩක සංගමය නියෝජනය කරමින් එක් අයෙකු, පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එක් අයෙකු, කාන්තා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එක් අයෙකු, විනිසුරුවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එක් අයෙකු සහ පුහුණුකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් එක් අයෙකු වශයෙන් තේරී පත් විය යුතු බවට යෝජනා කර ඇත.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් කාර්යභාරයන් විධිමත්ව සිදුකිරීම සඳහා කමිටු 10ක් පත්කිරීමට ද යෝජනා කර ඇත.

ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, පාර්ශවකාර ගනුදෙනු කමිටුව, නාම යෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරගාවලි කමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, සංචාර කමිටුව, රීති – බේරුම්කරණ – හා විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ මර්දන කමිටුව හා වේතන කමිටුව වශයෙන් එම කමිටු පත් කිරීමට යෝජනා කර තිබේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි එම කමිටුව විසින් ලබා දුන් වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි වෙත නොවැම්බර් 8 වැනිද) නිල වශයෙන් භාර දෙනු ලැබිය. 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්