ඔහු එබව කියා සිටියේ, කොළඹදී ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකදීය.
ගල් අඟුරු සැපයීමට 'ට්‍රයිඩෙන්ට් කෙම්ෆර්' සමාගමට දුන් ගල් අඟුරු නැව් 25ක දිගුකාලීන ටෙන්ඩරය මෙන්ම 'තරන්ජොට් රිසෝසර්ස්' සමාගමට දුන් ගල් අඟුරු නැව් 5ක හදිසි ස්ථානීය ටෙන්ඩරය යන ටෙන්ඩර් ගිවිසුම් දෙකම නීති විරෝධී බව ද පුබුදු ජයගොඩ කීය.
එහිදී පුබුදු ජයගොඩ මෙසේ ද සඳහන් කළේය.
''සමස්ත ක්‍රියාවලියම නීති විරෝධීයි'
“මෙම වසරේ (2026) අප්‍රේල් 02 නිකුත් වූ ජාතික විගණන කාර්යාලයේ වාර්තාවෙන්ද තහවුරු කර ඇති ආකාරයට 'ට්‍රයිඩෙන්ට් කෙම්ෆර්' සමාගමට ටෙන්ඩරය ලබාදී ඇති ආකාරය අනීතිකයි. නීතියට අනුව ලංසු ලේඛන යැවිය යුත්තේ ලියාපදිංචි සමාගම්වලට පමණයි. මේ සමාගම ලියාපදිංචිය සඳහා අයැදුම්පත් ලබාදී ඇත්තේ 2025 අගෝස්තු 19 වැනිදා. ඔවුන් ලියාපදිංචි ගාස්තු ගෙවා රිසිට්පතක් ගෙන තිබෙන්නේ අගෝස්තු 22 වැනිදා. නමුත් අගෝස්තු 18 වැනිදා ඔවුන්ට විද්‍යුත් තැපෑලෙන් ලංසු ලේඛන යවා තිබෙනවා. එය නීති විරෝධීයි.
ඒ වගේම මේ 'ට්‍රයිඩෙන්ට් කෙම්ෆර්' සමාගම සමග ටෙන්ඩර් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2025 නොවැම්බර් 19 වැනිදා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ගිවිසුම සඳහා අනුමැතිය ලබාදී තිබෙන්නේ ඊට පසුදින, නොවැම්බර් 20 වැනිදා. නීතිපති අනුමැතියක් නොමැතිව අත්සන් කළ ගිවිසුමක නෛතික වලංගුතාවයක් නෑ. එය ශුන්‍ය වෙනවා. මේ හේතුව නිසා අදාළ සමාගම දඩ ගෙවීම පවා මගහැරීමේ ඉඩක් තිබෙනවා” යැයි ඔහු කීය.
'ට්‍රයිඩෙන්ට් කෙම්ෆර්' සමාගම නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණය නිසිකලට ලබාදීමට අසමත්වීම නිසා 2026 මාර්තු 19 වැනිදා 'තරන්ජොට් රිසෝසර්ස්' සමාගමට ගල් අඟුරු නැව් 5ක, මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක හදිසි ස්ථානීය ටෙන්ඩරයක් ලබා දුන්නා. විගණන වාර්තාවේ ඉතාම පැහැදිලිව සඳහන්ව ඇති ආකාරයට එම ටෙන්ඩරය සඳහා ලියාපදිංචි වීමටවත් එම සමාගම අවම සුදුසුකම් සපුරා නැහැ.
කිලෝග්‍රෑමයකට කිලෝකැලරි 5900ට වැඩි තාපජනක ධාරිතාවයෙන් යුතු ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක්වත් ගෙවුණු මාස 36 තුළ වෙළඳාම් කර අත්දැකීමක් තිබීම මූලික නිර්නායකයක්. නමුත් එම සමාගම එම ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු බිඳක්වත් ගෙවුණු මාස 36 තුළ විකුණා නෑ. ඒ නිසා තරන්ජොට් සමාගමේ ලියාපදිංචිය අනීතිකයි. ඒ නිසාම එම සමාගමට දුන් හදිසි ටෙන්ඩරයත් නීතිවිරෝධීයි.
(lankalokaya | නිමල් අධිකාරි)




