ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
සමගි ජන බලවේගය තුළ ගැටලු ඇති කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් මෙවැනි ප්‍රචාරයන් සිදුකරන බවද ඔහු සඳහන් කරයි.
තමන් දේශපාලනයට පැමිණියේ පවුල් දේශපාලන පසුබිමක් නිසා නොව, රට දියුණු කිරීමේ අරමුණින් බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
“මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. තරුණ වයසේදී රට ගැන කැක්කුමක් ඇතිවුණා. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි කියන හැඟීම තමයි මාව දේශපාලනයට තල්ලු කළේ,” යනුවෙන් ඔහු සඳහන් කරයි.
තමන් පටු දේශපාලන වාසි බලාගෙන තීරණ නොගන්නා බවත්, මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කඳවුර තුළ තම දේශපාලන ගමන ඉදිරියට ගෙන යන බවත් ඔහු අවධාරණය කර ඇත.
''රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාර ගැනීමට සූදානම්''
එමෙන්ම වත්මන් ආණ්ඩුව අසාර්ථක බවත්, රට ගොඩනැගීමට අවශ්‍ය දූරදර්ශී ආර්ථික දැක්මක් එම ආණ්ඩුවට නොමැති බවත් හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.
“ලෝකයට විවෘත නොවුණු වකුටු වූ අදහස් වලින් මේ රට හදන්න බෑ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි,” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, ආණ්ඩුවේ හොඳ දේට හොඳයි කියන දේශපාලන සංස්කෘතියක් ඉදිරියට ගෙන යමින්, ආර්ථික සමෘද්ධියෙන් යුතු දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුවට එරෙහි සටන තවදුරටත් ශක්තිමත් කරන බවද ඔහු සඳහන් කරයි.
අවශ්‍ය මොහොතකදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාර ගැනීමට තමන් සූදානම් බවද හර්ෂ ද සිල්වා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




