එවැනි වංචාවන් නැවත සිදුනොවීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ඉතා සමීපව කටයුතු කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.
කොළඹ කොටුව, මහ බැංකු මූලස්ථානයේ අද (13) පැවැති විශේෂ දේශනයකින් පසුස පැවැති, මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, පවතින ගෙවීම් ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මහ බැංකුව සතු පළපුරුද්ද සහ දැනුම උපයෝගී කරගනිමින් මුදල් අමාත්‍යාංශය සමඟ අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරගෙන යන බව අවධාරණය කළේය.
ගෙවීම් සම්බන්ධයෙන් වන මහ බැංකුවේ වගකීම පිළිබඳ පැහැදිලි කරමින් ඔහු පවසා සිටියේ, බැංකුකරුවෙකු ලෙස යම් ගිණුමකට මුදල් ගෙවන ලෙස උපදෙස් ලැබුණු විට, පද්ධතිය හරහා එම ගිණුම් අංකය නිවැරදි නම් ගෙවීම් සිදු කිරීම බැංකුවේ කාර්යභාරය බවයි. ලැබෙන උපදෙස් වෙනස් කිරීමට බැංකුවට අයිතියක් නොමැති බවත්, ගෙවීමක් සිදු කළ පසු අදාළ පාර්ශවයට මුදල් ලැබුණේද යන්න පරීක්ෂා කිරීම ගෙවීම් ලබන ආයතනය සතු වගකීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගෙවීමක් සිදු කිරීමෙන් පසු එහි තත්ත්වය පරීක්ෂා කිරීම (Cross check) සම්බන්ධයෙන් කරුණු දැක්වූ අධිපතිවරයා, ගෙවීම් ලබන පාර්ශවයේ ගිණුම් වාර්තා (Statements) පරීක්ෂා කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැති බවත්, උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ ආයතනයකට සිදුකළ ගෙවීමකදී එම වාර්තා ලැබිය යුත්තේ අදාළ ආයතනයට බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
(සටහන | ජේ.මුණසිංහ)




