මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයෙකු වන WKV Hydro Group සමාගමට අනුබද්ධ Galilee BESS Ltd. ආයතනය විසිනි.
ඔවුන් වෙත පවරා දී ඇති ගාල්ල සහ මාතර යන ස්ථානයන්හි මෙම පද්ධති ස්ථාපනය කිරීමට නියමිතය. ඉදිරි මාස කිහිපය තුළ මේවා ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) වෙත විශාල සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතිය මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයක් වූයේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ පවතින අස්ථාවරත්වය සහ උපරිම විදුලි ඉල්ලුම පවතින වේලාවන්හිදී ඇති වන විචලනයන් කළමනාකරණය කිරීමයි. මෙම පද්ධතිය හරහා ජාතික පද්ධතියට එක්වන සෑම මෙගාවොට් පැයක බැටරි ගබඩා ධාරිතාවයක්ම, වඩාත් ස්ථාවර සහ ඔරොත්තු දෙන විදුලි පද්ධතියක් නිර්මාණය කිරීමට ඉවහල් වේ. එමඟින් නිවාස, ව්‍යාපාර මෙන්ම සමස්ත ආර්ථිකයටම විශ්වාසදායක සහ පිරිසිදු බලශක්තියක් සැපයීමට මඟ පෑදෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සැපයුම්කරු ලෙස ලොව ප්‍රමුඛ පෙළේ බලශක්ති ගබඩා පද්ධති නිෂ්පාදකයෙකු වන චීනයේ Sungrow Power සමාගම කටයුතු කරයි. එමෙන්ම, මෙම සුවිශේෂී සහ දැවැන්ත ව්‍යාපෘතියේ භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් කටයුතු හසුරුවනු ලබන්නේ Expolanka Project Logistics සමාගම විසිනි. මෙය රුපියල් බිලියන 40ක ව්‍යාපෘතියකි.
මේ සම්බන්ධයෙන් හිටපු බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි තම ෆේස්බුක් පිටුවට එක් කර තිබූ සටහන මතු දැක්වේ.
“ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යය: රුපියල් බිලියන 40 ක BESS ජාතික ව්‍යාපෘතිය ඇරඹෙයි!
ශ්‍රී ලංකා බලශක්ති ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, මෙරට පළමු වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතියේ පළමු මෙගා වොට් 20 (BESS) මේ වනවිට කොළඹ වරායට ළඟා වී ඇත!
පුනර්ජනනීය බලශක්තියෙන් රට ස්වයංපෝෂිත කිරීමේ අපගේ ජාතික ඉලක්කය කරා යන ගමනේදී මෙය සැබවින්ම විප්ලවීය පියවරකි.
ඉදිරි දැක්ම සහ ව්‍යාපෘතියේ ව්‍යාප්තිය (The Road Ahead)
මෙය තනි ව්‍යාපෘතියකට පමණක් සීමා නොවන අතර, ජාතික විදුලිබල පද්ධතිය පුරා උපායමාර්ගිකව විහිදී යන පුළුල් ජාලයකි.
පළමු අදියරයට අයත් සමස්ත ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 10 ක ධාරිතාව බැගින් වූ උප-ව්‍යාපෘති 16ක් දිවයින පුරා ප්‍රධාන විදුලි උපපොළවල් (Grid Substations) කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කිරීමට නියමිතය.
ඒ අනුව ඊයේ කොළඹ වරායෙන් මුදාහැරුණු මුල්ම බැටරි පද්ධති කාණ්ඩය, ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් ඉදිරි මාස කිහිපය තුළ නව ගාල්ල (New Galle) සහ මාතර (Matara) උපපොළවල් වෙත සම්බන්ධ කෙරේ.
පළමු අදියරය යටතේ ඉදිරියේදී මෙම තාක්ෂණය දිවයින පුරා ව්‍යාප්ත වන ප්‍රධාන කලාප:
1. බස්නාහිර සහ දකුණ: පන්නිපිටිය, හොරණ, කොස්ගම, පානදුර, අම්බලන්ගොඩ, හම්බන්තොට
2. මධ්‍යම, වයඹ සහ සබරගමුව: කිරිබත්කුඹුර, කුරුණෑගල, බෝලවත්ත, මාදම්පේ, පන්නල
3. උතුර සහ නැගෙනහිර: චුන්නාකම්, කිලිනොච්චි, අම්පාර
4. ඌව සහ උතුරු මැද: මහියංගනය, මොනරාගල
මීට අමතරව දෙවන අදියරය යටතේ තවත් ග්‍රිඩ් උපපොලවල් 19 ක් යටතේ තවත් මෙගා වොට් 250 ක් සහ තෙවන අදියරය යටතේ දැනට ක්‍රියාත්මකව පවතින පොලොව මත සවිකරන ලද සෝලා පද්ධතීන් සදහා මෙගා වොට් 50 වන පරිදි බැටරි ගබඩා පද්ධතීන් ඇතිකිරීමට අදාල මිලගණන් කැඳවීම ඉදිරි සති කිහිපය තුල සිදු කිරීමට ද නියමිතයි.
මෙයින් ජාතික පද්ධතියට සහ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ:
1. බලශක්ති මාරුවීමේ පහසුකම (Energy Shifting):
මෙහි මූලිකම අරමුණ වන්නේ දහවල් කාලයේ සූර්ය බලයෙන් නිපදවන අතිරික්ත විදුලිය කාර්යක්ෂමව ගබඩා කරගෙන, විදුලි ඉල්ලුම ඉහළම මට්ටමක පවතින රාත්‍රී කාලයේදී (Peak Hours) ජාතික පද්ධතියට මුදා හැරීමයි.
එමගින් දහවල් කාලයේදී කපාහැරෙන අතිරික්ත සූර්ය බලය එසේ නොනර බැටරි තුල ගබඩා කිරීමත් රාත්‍රී කාලයේදී දැනට භාවිතා කරන මිල අධික සහ පරිසරයට හානිකර පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමටත් හැකිවේ !
2. ක්ෂණික පද්ධති සහාය (Frequency Response):
ජාතික පද්ධති ක්‍රියාකරුගේ (NSO) සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම පද්ධතිය, විදුලි රැහැන්වල ඇති වන හදිසි බිඳවැටීම් සහ උච්චාවචනයන් පාලනය කරමින් විදුලි විසන්ධි වීම් වළක්වාලීමට ක්ෂණිකව දායක වේ.
3. පිරිසිදු හා ස්ථාවර බලශක්තිය:
සුළං සහ සූර්ය බලශක්තියේ ඇති ස්වාභාවික අස්ථාවරත්වය මඟහරවා, නිවාස සහ ව්‍යාපාර සඳහා 100% ක් විශ්වාසදායක හරිත විදුලි සැපයුමක් මෙයින් තහවුරු කෙරේ.
අපි තාක්ෂණයෙන් සහ නවෝත්පාදනයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ලෝක මට්ටමට ඔසවා තබමින්, ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඔස්සේ රටම ආලෝකමත් කරමින් සිටිමු!”




