නවීන වගා ක්‍රම, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ විද්‍යාත්මක දැනුම සෘජුවම ගොවීන් වෙත ව්‍යාප්ත කිරීම මෙහි අරමුණයි.
06 වන ආසියානු තේ සන්ධානයට සමගාමීව, කුඩා තේ වතු අංශයේ නව පෙරළියක් ඇති කරමින් ස්ථාපිත කරන ලද "පුනර්ජනනීය කෘෂිකර්මාන්ත ඩිජිටල් සම්පත් මධ්‍යස්ථාන" වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබධිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් භාරදීමේ උත්සවය මැයි 20 වන දින හන්තාන රත්නසිරි වික්‍රමනායක ජාතික පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.
'Solidaridad' සහ 'Nucleus Foundation' යන ජාත්‍යන්තර ආයතනයන්හි පූර්ණ මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය යටතේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හන්තාන පුහුණු මධ්‍යස්ථානය, ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල (වලහන්දූව) ප්‍රාදේශීය කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් මෙම නවීන ඩිජිටල් සම්පත් මධ්‍යස්ථානයන් සංවර්ධනය කර ඇත.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ කුඩා තේ වතු අංශයේ ගුණාත්මක පුනරුදයක් ඇති කිරීම සහ කුඩා තේ වතු හිමියන් වෙත පුනර්ජනනීය කෘෂිකර්මය පිළිබඳ නව දැනුම සහ තාක්ෂණික අවබෝධය ලබාදීමයි. එමඟින් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය මගින් සොයාගනු ලබන නව විද්‍යාත්මක දැනුම කෙටි කාලයක් තුළ කාර්යක්ෂමව ගොවි ජනතාව වෙත සන්නිවේදනය කිරීමද අපේක්ෂිතයි.
තවද, කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රතිපෝෂණ (Feedback) ලබාගැනීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේද භාවිතා කිරීම, මුද්‍රිත මාධ්‍ය භාවිතය අවම කර සමාජ මාධ්‍ය හරහා තාක්ෂණික දැනුම ව්‍යාප්ත කිරීම සහ පුහුණු කරන්නන් පුහුණු කිරීමේ (Training of Trainers) මධ්‍යස්ථානයක් ලෙස මෙම මධ්‍යස්ථාන භාවිතා කිරීමද මෙහි අරමුණ වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 70%කටම දායකත්වය සපයන 475,000ක් පමණ වන කුඩා තේ වතු හිමියන් වෙත තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශයන් ඩිජිටල් තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අතථ්‍ය (virtual) මෙවලම් ඔස්සේ කඩිනමින් ලබා දීමට මේ හරහා කටයුතු කෙරේ. ප්‍රතිදානය පහත වැටීම, ශ්‍රම හිඟය, දේශගුණික විපර්යාස සහ පොහොර මිල ඉහළ යාම වැනි අභියෝග රැසකට කුඩා තේ වතු හිමියන් මුහුණ දී සිටින පසුබිමක 2025 වසරේදී මෙරට තේ නිෂ්පාදනය වාර්තා කළේ කිලෝග්‍රෑම් මිලියන 264.1ක සුළු වර්ධනයක් පමණි.
මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ මඟින් පස සාරවත් කිරීම, ජල කළමනාකරණය සහ රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීම වැනි පුනර්ජනනීය කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම ගොවීන් අතරට ගෙනයාමට අපේක්ෂිතය. තවද, ලෝක වෙළෙඳපොළේ තේ සඳහා පවතින ඉහළ ඉල්ලුමට සරිලන පරිදි තේ නිෂ්පාදනය කිරීමට ද මෙමඟින් ගොවීන්ට මඟ පෙන්වයි.
මැයි 20 වෙනිදා පැවති උත්සවයට ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත වැඩබලන තානාපති අයිවන් රුට්ජන්ස් (Iwan Rutjens), වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සභාපති නිමල් උඩුගම්පල ඇතුලු කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් ද, Solidaridad ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය ශතදෘ චට්ටෝපාධායේ (Dr. Shatadru Chattopadhayay) ඇතුලු නියෝජිතයන්, ශ්‍රී ලංකා නියෝජිත මැලොරි ඩේවිඩ් (Malory David), Nucleus Foundation අධ්‍යක්ෂ ඩේව් මොරිස් (Dave Morris) ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක්ද එක්විය





