අද (25) උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුගේ සිරුර සිරකුටිය තුළ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති අතර, ඔහු ඊයේ (24) රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැක කරයි.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ යාපනය පුන්කුඩිතීවු ප්‍රදේශයේ පදිංචිව සිටි පූබාලසිංහම් ජෙයකුමාර් නොහොත් රවි නැමැති 46 හැවිරිදි රැඳවියෙකි.
මරණකරුගේ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
අධිආරක්ෂිත සිරකුටියක් තුළ රැඳවියෙකු මෙලෙස සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම පොලිසියද වෙනම විමර්ශන ආරම්භ කර තිබේ. යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන ගේ උපදෙස් මත, යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන සහ උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුණසේකර ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
2015 මැයි මාසයේදී පුන්කුඩිතීවු මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය පාසල් නිමවී නිවස බලා යමින් සිටියදී පැහැරගෙන ගොස්, යාපනය වල්ලව තල්ගස් රුප්පාව ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක් කර අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි. මෙම සිදුවීම එකල මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද දැඩි අවධානයට ලක්විය.
මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කිරීම
2015 වසරේ සිදුවූ මෙම අතිශය අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial-at-Bar) විසින් 'ස්වීස් කුමාර්' ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කර තිබූ අතර, දීර්ඝ විභාගයකින් පසු ඉකුත් මැයි 6 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම අභියාචනා නිෂ්ප්‍රභ කරමින් මරණ දඬුවම යළිත් ස්ථිර කළේය. අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
කෙසේ වෙතත්, එම තීන්දුවේදීම ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් වෙනත් විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි. අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී, දැනට සියදිවි හානිකරගෙන ඇති ජෙයකුමාර් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරයේ සිටම අධිකරණය හමුවේ පෙනී සිට ඇත.




