නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ මෙම කරුණු අනාවරණ කළාය.
2022 මැයි 9 වැනිදා එවකට අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ ගේ නිල නිවස වූ අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමකින් අනතුරුව පැමිණි පිරිසක්, ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය අසල සාමකාමීව විරෝධතාවයේ නිරත වූ පිරිස්වලට සහ ඔවුන්ගේ තාවකාලික කුටිවලට ප්‍රහාරයක් එල්ල කළහ.
මෙම සිදුවීම වන අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම හෝ පැහැර හැරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර පොලිසියට නියෝග කර තිබුණි.
කෙසේ වෙතත්, නීතිපතිවරයාගේ එම නියෝගය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබා දෙන ලදී. අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණේ අභියාචනාධිකරණයේ එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචන පෙත්සමකි.
ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, අදාළ අභියාචන පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා එළඹෙන සැප්තැම්බර් මස 2 වැනිදාට දින නියම කළේය.




