The Leader News
BREAKING
ක්‍රිෂ් ගනුදෙනුවේ ජානකී යළි රිමාන්ඩ්: නාමල්ටත් අධිකරණ නියෝගයක්●බදු සහන පොරොන්දු සහ බිම් මට්ටමේ ආර්ථිකය: නාමල්ගෙන් ප්‍රශ්න●දේපළ වෙළෙඳපොළ පිබිදීම හමුවේ කළු සල්ලි අවදානමක්●යුරෝපා වෙළෙඳපොළ රැකගන්න ලංකාවෙන් අලුත් ගිවිසුමකට සූදානමක්●රුපියල් බිලියන 190ක ආනයන වංචාව: බැංකු නිලධාරීන්ගේ සම්බන්ධතාත් විමර්ශනයට●ලංකාවේ ටික්ටොක් වීඩියෝ ලක්ෂ හතරක් ඉවතට: ඩිජිටල් අර්බුදයක අනතුරු ඇඟවීමක්●රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි දිවිසැරිය නිම කරයි●දෙමළ ජනතා ප්‍රශ්න මෝදිට කියන්න සීතාරාමන්ගෙන් සහතිකයක්●වැට් බදු බර සහ ආර්ථික අර්බුදය: ජනතාවට සහනයක් ලැබේ ද?●සාෆ් පාපන්දු කුසලානය: පාකිස්තානය ප්‍රමාද වී එල්ල කළ අභියෝගයෙන් නොසැලුනු ඉන්දියාවට 3-2ක ජයක්!●
Top Ad
පුවත්

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි දිවිසැරිය නිම කරයි

Nethmini

Nethmini

November 6, 2026 • 9:07 AM

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි දිවිසැරිය නිම කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ සාහිත්‍යධර , රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි ඊයේ (2026-11-05) අභාවප්‍රාප්ත විය.
  • ශ්‍රී ලාංකීය සම්භාව්‍ය සිංහල සාහිත්‍යය , සංදේශ කාව්‍ය අධ්‍යයනය සහ පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය යනාදි ක්ෂේත්‍ර තුළ ඉතා අගනා මෙහෙවරක් ඉටු කළ හෙතෙම මිය යනවිට 89වන වියේ පසු විය.
  • බොරැල්ල පිහිටි පෞද්ගලික මල්ශාලාවක දී අද සවස 5.00 සිට දේහයට අවසන් ගෞරව දැක්විය හැකි අතර අවසන් කටයුතු සෙනසුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිත ය.
  • ඒ වෙනුවෙන් පළ කෙරෙන ශෝක ප්‍රකාශය සහ කෙටි ශාස්ත්‍රීය උපහාර රචනාව: සංවේග ප්‍රකාශය සිංහල භාෂාව , සම්භාව්‍ය සාහිත්‍යය සහ ශාස්ත්‍රීය පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රදීපස්තම්භයක් බඳු වූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි මහතාණන්ගේ අභාවය දැඩි කම්පනයකින් සහ සංවේගයකින් යුතුව දැනගතිමු.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රවීණ සාහිත්‍යධර, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි ඊයේ (2026-11-05) අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලාංකීය සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, සංදේශ කාව්‍ය අධ්‍යයනය සහ පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය යනාදි ක්ෂේත්‍ර තුළ ඉතා අගනා මෙහෙවරක් ඉටු කළ හෙතෙම මිය යනවිට 89වන වියේ පසු විය.

ඔහු: සිංහල සන්දේශ කාව්‍යයේ සමාජ පසුබිම, සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ සමාජ - දේශපාලන පරිසරය යන කෘති සහ වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්‍යය, කව්සිළුමිණ, මයුර සන්දේශය, ගිරා සංදේශය, මුවදෙව්දාවත,  පැරකුම්බා සිරිත, ප්‍රේත වස්තුව, අමාවතුර යනාදි කෘති පිළිබඳ විශිෂ්ට විචාර කෘති ගණනාවක් රචනා කළ ජ්‍යේෂ්ඨ ලේඛකයෙකි.

බොරැල්ල පිහිටි පෞද්ගලික මල්ශාලාවක දී අද සවස 5.00 සිට දේහයට අවසන් ගෞරව දැක්විය හැකි අතර අවසන් කටයුතු සෙනසුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිත ය.

මතු පළ වන්නේ ඔහු ගේ අභාවය වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ක්‍රිෂාන්ත ෆෙඩ්‍රික් ලියූ සටනකි.

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි මහතාණන්ගේ අභාවය සැලවිය. ඒ වෙනුවෙන් පළ කෙරෙන ශෝක ප්‍රකාශය සහ කෙටි ශාස්ත්‍රීය උපහාර රචනාව:

සංවේග ප්‍රකාශය

සිංහල භාෂාව, සම්භාව්‍ය සාහිත්‍යය සහ ශාස්ත්‍රීය පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රදීපස්තම්භයක් බඳු වූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි මහතාණන්ගේ අභාවය දැඩි කම්පනයකින් සහ සංවේගයකින් යුතුව දැනගතිමු. පැරණි සාහිත්‍ය ඥානය නූතන පරපුර උදෙසා සරලව, ශාස්ත්‍රීයව හා විචක්ෂණශීලීව දායාද කිරීමට එතුමන් කළ අනුපමේය මෙහෙවර සමස්ත ශ්‍රී ලාංකේය සංස්කෘතික ප්‍රජාවේ සදාතනික ගෞරවයට පාත්‍ර වේ. දශකයක් පමණ කාලයක් මම එතුමන් ගේ සමීප මිතුරෙකු විය. Chinthaka ranasinha, karu paranawitha යන ජ්‍යේෂ්ඨ සාහිත්‍ය මිතුරන් සමග මම එතුමන් මුණ ගැසීමට ගොස් අපගේ ශාස්ත්‍ර පිපාසය සංසිද ගතිමු.   අග්‍රගණ්‍ය පඬිවරයකු වූ එතුමන් ගේ වියෝවෙන් පවුලේ සැම ද, ශාස්ත්‍රාලීය විද්‍යාර්ථීන් ද තැති ගැන්වෙනු නියත ය. පණ්ඩිත සිරි තිලකසිරි මහතාණන්ට නිවන් සුව අත්වේවා!

ශාස්ත්‍රීය උපහාර රචනාව:

සිරි තිලකසිරි පඬිවරයාණෝ

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි මහතා යනු හෙළ භාෂාව සහ සම්භාව්‍ය සාහිත්‍යය පෝෂණය කළ අග්‍රගණ්‍ය ශාස්ත්‍රවන්තයෙකි. එතුමන් ගේ හදිසි අභාවය සමස්ත සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට ම සහ ශාස්ත්‍රාලීය ප්‍රජාවට සිදුවූ පිරවිය නොහැකි බලවත් පාඩුවකි. දශක ගණනාවක උදාර මෙහෙවරක් ඉටුකළ තිලකසිරි සූරීන්, නූතන පරපුරට සම්භාව්‍ය සාහිත්‍යය කියාදුන් විශිෂ්ට ගුරුවරයෙකි. පැරණි ව්‍යාකරණ සහ මහා කාව්‍ය නූතන විද්‍යාර්ථීන්ට ගෝචර වන පරිදි සරලව සංස්කරණය කිරීම එතුමාගේ ප්‍රධාන කාර්යය විය.

අමාවතුර සහ කව්සිළුමිණ යනාදි ප්‍රෞඪ ග්‍රන්ථ එතුමන් අතින් නව ශාස්ත්‍රීය විවරණ සහ ගැඹුරු ශාස්ත්‍රීය ශික්ෂණයක් සහිතව ප්‍රතිසංස්කරණය කෙරිණි. ගුත්තිල කාව්‍යය, මයුර සන්දේශය, පැරකුම්බා සිරිත, ගඟරු පුද කව්, ගිරා සංදේශය, පරවි සංදේශය, හංස සදේශය ආදි සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කරණය කරමින් එතුමා සිංහල පද්‍යයේ ධ්වනිතාර්ථ මතු කළේය. තිලකසිරි මහතා සිංහල සාහිත්‍ය විචාරයට "සාහිත්‍ය සමාජ විද්‍යාව" න්‍යායාත්මකව ආදේශ කළ පුරෝගාමියෙකි. එතුමා රචනා කළ "සිංහල සන්දේශ කාව්‍යයේ සමාජ පසුබිම" කෘතිය සන්දේශ සාහිත්‍යයේ නව මානයන් හෙළි කළේය. "සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ සමාජ - දේශපාලන පරිසරය" කෘතිය මගින් සාහිත්‍යය සහ ඉතිහාසය අතර සබඳතාව මනාව පැහැදිලි කෙරිණි. සාහිත්‍ය කෘතියක් යනු හුදෙක් රසවින්දනයක් නොව, එය අදාළ සමාජ වටපිටාවේ නිෂ්පාදනයක් බව එතුමා පෙන්වා දුන්නේ ය.

බහු-ක්ෂේත්‍රවලින් ලද පෝෂණය

භාෂා න්‍යාය සහ ප්‍රායෝගික ව්‍යාකරණ භාවිතය සම්බන්ධයෙන් ද එතුමා සිදුකළ මැදිහත්වීම සුවිශේෂී වේ. එතුමාගේ "සිංහල වියරණ විදි" කෘතිය වර්තමාන පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රධාන පරිශීලන ග්‍රන්ථයකි. පැරණි සිදත් සඟරා රීතීනුත්, නූතන වාග්විද්‍යාත්මක අවශ්‍යතාවනුත් අතර මනා පාලමක් තැනීමට එතුමා සමත් විය. සිංහල භාෂාවේ නිවැරදි අක්ෂර වින්‍යාසය සහ පද බෙදීම පිළිබඳව ජනමාධ්‍ය හරහා ද එතුමා නිරන්තරයෙන් සමාජය දැනුවත් කළේය. සරල සුගම බසකින් ගැඹුරු ශාස්ත්‍රීය කරුණු සන්නිවේදනය කිරීමේ අති දුර්ලභ ගුණාංගය තිලකසිරි මහතා සතුව තිබුණි.  එතුමාගේ විචාර විධික්‍රමය භාෂා විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය සහ සෞන්දර්යවේදය යන බහු-ක්ෂේත්‍රවලින් පෝෂණය වූවකි.

 මෙරට ප්‍රමුඛ පෙළේ ප්‍රාඥයන් රැසක් සමඟ එක්ව සිංහල භාෂාවේ උන්නතිය උදෙසා එතුමා කමිටු මට්ටමින් ද ක්‍රියා කළේය. මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය ජේ.බි දිසානායක, මහාචාර්ය විමල් බලගල්ල, ආදි පඬිවරයන් සමග සමසුන් ගනිමින් සිංහල භාෂාවේ ව්‍යාකරණය පෝෂණය කළේය.  නිහඬ, සන්සුන් සහ ප්‍රශස්ත ඥාන විභාග ශෛලියක් අනුගමනය කිරීම එතුමාගේ ශාස්ත්‍රීය පෞරුෂයේ කැපී පෙනෙන ලක්ෂණයයි.

හමාර කීම

පිළියන්දල නගර මධ්‍ය තිබු නිවසෙට ගොස්, මම එතුමන්ගේ පුස්තකාලයේ ඇතැම් පොත් මහත් අභිරුචියකින් කියවනු දැක  "ඕක අරන් ගිහින් හෙමින් කියවන්න ක්‍රිශාන්ත" යනුවෙන් ඉතා ශාන්ත ස්වරයෙන් එතුමන් මට අමතයි. දිනක් මම එතුමන්ගේ පුස්තකාලයේ තිබු ඉතා විශාල ග්‍රන්ථක් වූ ලඝු සිද්ධාන්ත කෞමදි නමැති කෘතිය ගැන කුහුලින් යුක්තව විමසනු දුටු එතුමන් ගේ ප්‍රකාශය වූයේ ඉහත කී වදන්මය. එලෙස එතුමන් මට ලබා දුන් කෘති රැසක් මගේ පුස්තකාලයේ ගෞරණිය ලෙස විරාජමානව වැජඹෙයි. පසු කලෙක එතුමන් පිළිලයන්දල නගරයේ තිබු නිවස විකුණා දමා කැස්බෑවට නුදුරින් පදිංචි විය. මීට කෙටි කලකට පසු  karu paranawithana මහතා සමග ගොස් එතුමන් බැහැ දැක සුවදුක් විමසීමු. එතුමන්ගේ බිරිඳ ද අපට දරුවන්ට සේ සැලකුවා ය.

සිරි තිලකසිරි පඬිවරයාණන්ගේ භෞතික දේහය අපෙන් සමුගත්ත ද, එතුමන් තැබූ ශාස්ත්‍රීය මුද්‍රාව කිසිදා මැකී නොයනු ඇත. හෙළ සාහිත්‍ය වංශය පවතින තාක් කල්, රාජකීය පණ්ඩිත සිරි තිලකසිරි මහතා ගේ නාමය අමරණීයව පවතිනු නොඅනුමාන ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...