The Leader News
BREAKING
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: රනිල්ගේ මනමේ මතකය සහ කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාව●ක්‍රිෂ් ගනුදෙනුවේ ජානකී යළි රිමාන්ඩ්: නාමල්ටත් අධිකරණ නියෝගයක්●බදු සහන පොරොන්දු සහ බිම් මට්ටමේ ආර්ථිකය: නාමල්ගෙන් ප්‍රශ්න●දේපළ වෙළෙඳපොළ පිබිදීම හමුවේ කළු සල්ලි අවදානමක්●යුරෝපා වෙළෙඳපොළ රැකගන්න ලංකාවෙන් අලුත් ගිවිසුමකට සූදානමක්●රුපියල් බිලියන 190ක ආනයන වංචාව: බැංකු නිලධාරීන්ගේ සම්බන්ධතාත් විමර්ශනයට●ලංකාවේ ටික්ටොක් වීඩියෝ ලක්ෂ හතරක් ඉවතට: ඩිජිටල් අර්බුදයක අනතුරු ඇඟවීමක්●රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි දිවිසැරිය නිම කරයි●දෙමළ ජනතා ප්‍රශ්න මෝදිට කියන්න සීතාරාමන්ගෙන් සහතිකයක්●වැට් බදු බර සහ ආර්ථික අර්බුදය: ජනතාවට සහනයක් ලැබේ ද?●
Top Ad
Opinion

වැට් බදු බර සහ ආර්ථික අර්බුදය: ජනතාවට සහනයක් ලැබේ ද?

Awara

Awara

November 6, 2026 • 12:06 AM

වැට් බදු බර සහ ආර්ථික අර්බුදය: ජනතාවට සහනයක් ලැබේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් රජය මේ වසරේ රාජ්‍ය ආදායම් ඉලක්ක පසු කර යමින් සිටිය ද, රටේ ආර්ථික වර්ධනයට සෘජුවම දායක වන ප්‍රාග්ධන වියදම් තවමත් පවතින්නේ 30%කට ආසන්න ඉතා පහළ මට්ටමක ය.
  • වසරේදී මෙරටට ලැබුණු ඍජු විදේශ ආයෝජන (FDI) ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් පමණක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් වැනි ඉතා අවම අගයකි.
  • මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නොමැති වීම සහ නව රැකියා උත්පාදනය නොවීම හමුවේ මුදල් සංසරණය අඩපණ වී ඇත.
  • වක්‍ර බදු පීඩනය සහ ඉහළ ගිය ජීවන වියදම රජය බදු දැල ශක්තිමත් කරන බව පැවසුව ද, 2026 වසරේ මැද භාගය වන විටත් රාජ්‍ය ආදායමෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් සමන්විත වන්නේ වක්‍ර බදුවලිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

වත්මන් රජය මේ වසරේ රාජ්‍ය ආදායම් ඉලක්ක පසු කර යමින් සිටිය ද, රටේ ආර්ථික වර්ධනයට සෘජුවම දායක වන ප්‍රාග්ධන වියදම් තවමත් පවතින්නේ 30%කට ආසන්න ඉතා පහළ මට්ටමක ය. ක්‍රමවත් බදු පරිපාලනයක් හරහා දේශීය ආදායම ඉහළ නංවා ගැනීමට රජය සමත් වුව ද, සමස්ත ආර්ථික වර්ධනය තවමත් ඉතා මන්දගාමී මට්ටමක පවතී. 2025 වසරේදී මෙරටට ලැබුණු ඍජු විදේශ ආයෝජන (FDI) ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් පමණක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් වැනි ඉතා අවම අගයකි.

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නොමැති වීම සහ නව රැකියා උත්පාදනය නොවීම හමුවේ මුදල් සංසරණය අඩපණ වී ඇත. අතීතයේ මහින්ද රාජපක්ෂ වැනි නායකයන් ‘දැයට කිරුළ’ වැනි ප්‍රදර්ශන හා ව්‍යාපෘති පවා ක්‍රියාත්මක කළේ රජයේ මුදල් බිම් මට්ටමේ ජනතාව අතට ගලා යාමට සැලැස්වීම සඳහා ය. සිරස වැනි තෝරාගත් මාධ්‍ය ආයතනවලට මුදල් ලබා දුන් පමණින් එවැනි ආර්ථික ප්‍රසාරණයක් සිදු වන්නේ නැත.

වක්‍ර බදු පීඩනය සහ ඉහළ ගිය ජීවන වියදම


රජය බදු දැල ශක්තිමත් කරන බව පැවසුව ද, 2026 වසරේ මැද භාගය වන විටත් රාජ්‍ය ආදායමෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් සමන්විත වන්නේ වක්‍ර බදුවලිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත 2024 වසරේ සිට ක්‍රියාත්මක කළ 18%ක එකතු කළ අගය මත බද්ද (VAT) සහ 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) 2026 වන විටත් ජනතාව මත දැඩි පීඩනයක් එල්ල කරමින් පවතී. රජය ආහාර, ඖෂධ සහ පොත්පත් ආදියට පවා බදු පනවමින් මහජනතාවගේ පෝෂණයට, සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට සෘජුවම පහර දී ඇත. 2026 සැප්තැම්බර් මාසය වන විට මෙරට ආහාර උද්ධමනය 8.70%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සාමාන්‍ය පවුලක මාසික ආදායමෙන් 36%ත් 40%ත් ඉක්මවන පංගුවක් ආහාර සඳහාම වැය කිරීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකාවේ ඍජු බදු සහ වක්‍ර බදු අතර අපේක්ෂිත අනුපාතය 40:60ක් වුව ද, වත්මන් ප්‍රතිපත්ති හමුවේ එම ඉලක්කය ගිලිහී ගොස් ඇත. පසුගිය රනිල් වික්‍රමසිංහ රජය උපයන විට ගෙවීමේ බදු (APIT) දැල ශක්තිමත් කිරීම හේතුවෙන් 2023 වසරේදී මෙම අනුපාතය 33:67 මට්ටමට ගෙන ඒමට හැකි විය. එහෙත් 18% වැට් බදු සංශෝධනයත්, 2026 ජූලි 1 වැනිදා සිට බැංකු සහ මූල්‍ය සේවා මත පැවති 18% වැට් බද්ද හා 2.5% SSCL බද්ද ඒකාබද්ධ කර 20.5%ක් ලෙස ඉහළ නැංවීමත් හරහා වක්‍ර බදු බර තවදුරටත් තීව්‍ර වී තිබේ. තත්ත්වය එසේ තිබියදී තමන් අලුතින් කිසිදු බද්දක් නොපැනවූ බවට ජනාධිපතිවරයා මෑතකදී සිදු කළ ප්‍රකාශය මුළුමනින්ම පදනම් විරහිත ය.

බදු දැලේ විෂමතාව සහ සාමාන්‍ය ජනතාව


දුප්පතාගේ ආහාර වේල මත පනවන වක්‍ර බදුවලින් රාජ්‍ය ආදායම තර කර ගන්නා අතරතුර, ධනවතුන්ගෙන් අය කරගත යුතු ඍජු බදු නිසි ලෙස එකතු කරගැනීමේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මන්දගාමී වී තිබේ. මේ දිනවල අර්බුදයක් බවට පත්ව ඇති බදු ගොනු (TIN) ක්‍රියාවලිය දෙස බැලීමේදී පෙනී යන්නේ, රජය සුළු පරිමාණ ව්‍යාපාරිකයන් හා සාමාන්‍ය ජනතාව පසුපස හඹා යමින් සිටින බවයි.

රජය තවදුරටත් ශක්තිමත් කරමින් සිටින්නේ රැකියා කරන සේවකයන්ගේ වැටුපෙන් කපා ගන්නා APIT බදු දැල පමණි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්, අධික ලාභ ලබන ජාවාරම්කරුවන් සහ ඉහළ ගාස්තු අය කරන වෘත්තිකයන් තවමත් විධිමත් ඍජු බදු දැලෙන් රිංගා යමින් සිටිති.

කළු සල්ලි, ප්‍රාග්ධන පලායාම සහ මර්දනය

මෙරට ආර්ථිකයෙන් විශාල පංගුවක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ කප්පම්කරුවන් ඇතුළු කළු සල්ලි හිමියන් අත සංසරණය වේ. මූල්‍ය අංශයේ අධීක්ෂණය දැඩි කරමින් මුදල් විශුද්ධිකරණ විරෝධී නීති ශක්තිමත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද රජයට අවධාරණය කර ඇත. එසේම නීත්‍යානුකූල බැංකු පද්ධතිය මඟහැර සිදුවන ප්‍රාග්ධන පලායාම සහ සමාන්තර කළු වෙළඳපොළ ක්‍රියාකාරකම් නිසි ලෙස පාලනය කිරීමට රජය අපොහොසත් වී තිබේ.

සැබෑ ලෙසම පාතාලය හා කළු සල්ලි මර්දනය කරනවා වෙනුවට, රජය උත්සාහ කරන්නේ එය හුදු සංදර්ශනයක් බවට පත් කරගෙන ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත’ වැනි නීති හරහා දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට අවශ්‍ය බලතල ගොනු කර ගැනීමටයි.

අයවැයට ඉදිරිපත් වන ප්‍රායෝගික යෝජනා


විපක්ෂයේ සිටියදී ජාතික ජන බලවේගය ජනතාවට බදු නැති, සහන පිරුණු රටක් පොරොන්දු වුව ද, බලයට පත් වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට මුවා වී අත්‍යවශ්‍ය භාණ්ඩ මත දැඩි වක්‍ර බදු පවත්වාගෙන යයි. ඔවුන්ගේ ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපන උපකරණ මත පනවා ඇති වැට් බද්ද 0% දක්වා අඩු කරන බවට දුන් පොරොන්දුව දැන්වත් ක්‍රියාවට නැංවිය යුතුය.

2027 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්ත ඉලක්කය සපුරා ගැනීමට රජය බැඳී සිටිය ද, 2027 දී IMF වැඩසටහනෙන් ඉවත් වීමට නියමිත බැවින් රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවා යන මේ මොහොතේ ජනතාවට බදු සහනයක් ලබා දීමට හැකියාව පවතී.

* වැට් බද්ද අඩු කිරීම:
ජනතාවට සැබෑ ලෙසම බදු සහනයක් දැනීමට නම්, මෙවර අයවැයෙන් 18% වැට් බද්ද අවම වශයෙන් 15% මට්ටමට හෝ නැවත ගෙන ආ යුතුය.

* සමබර බදු සහන:
APIT බද්ද සංශෝධනය කිරීමෙන් රැකියා කරන පිරිසට යම් සහනයක් ලැබුණ ද, සමස්ත පාරිභෝගික ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට නම් වක්‍ර බදු කප්පාදුවක් අනිවාර්ය වේ.

* පොරොන්දු ඉටු කිරීම:
ජනතා විරෝධය හමුවේ බලයෙන් ඉවත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය පවා තමන් පොරොන්දු වූ පරිදි වැට් බද්ද අඩු කිරීමට පියවර ගත් බව වත්මන් පාලකයන් සිහි තබා ගත යුතුය. රූපයේ දැක්වෙන්නේ ජාතික ජන බලවේගය සිය 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වූ ආකාරයයි.


(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...