රට ආර්ථික බංකොලොත් බාවයට පත්කළ පුද්ගලයන් නීතිමය වශයෙන් පෙන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබාදුන්

බවත් මේ නිසාවෙන් රටක් බංකොලොත් කළ පක්ෂය වන 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ' මේ මොහොතේ විසුරුවා හැර වරදකරුවන් වූ පුද්ගලයන් අවභාවිතා කරමින් සිටින රාජ්‍ය දේපල පවරා ගතයුතු බවත් එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, ආර්ථික බංකොලොත් බාවයට පත්කළ පුද්ගලයන් ලෙස රාජපක්ෂවරුන් හා අනෙක් පිරිස නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14) දුන් තීන්දුව පිලිබන්දව අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේ පැවසිය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නේ ඓතිහාසික තීන්දුවක්. එදා 2018 දෙසැම්බර් මාසයේදී දින 52 කුමන්ත්‍රණය පරාජය කිරීමට දුන් නිර්භීත, යුක්ති සහගත තීන්දුවෙන් පස්සේ ලැබිච්ච අතිශය යුක්තිසහගත තීන්දුවක්. විශේෂයෙන්ම මේ රටේ පාගා පීඩාවට පත්කරන ලද ජනතාව, ආර්ථික අතින් අනාථ කරනු ලැබූ ජනතාවට ආර්ථික, යුක්තිය ඉටු කිරීමේ පළමු පියවර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තබා තැබීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට අපගේ ගෞරවනීය ප්‍රණාමය පිරිනමනවා.

ඒ වගේම මෙතනින් පස්සේ තවදුරටත් මේ බංකොලොත්භාවයට අපි වගකිවයුතු නැහැ. බංකොලොත්භාවය ප්‍රකාශ කළ අය තමයි වගකියන්න ඕනේ. ඒ වගේම මේ ජීවන බරට වගකියන්න ඕන නැහැ අපි. මේ විදුලි බිලට වගකියන්න ඕනේ නැහැ අපි. මේ ජල බිලට වගකියන්න ඕනේ නැහැ. අපි. මේ තෙල් බිලට වග කියන්න ඕනේ නැහැ. අපි ආදී වශයෙන් කියමින් රට වටා තවදුරටත් ප්‍රෝඩාව පතුරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට කිසිම අයිතියක් නැහැ.

 

දැන් නීතිය මගින් මේ රට බංකොලොත් කිරීමේ වගකීමට ඔවුන්ව බැඳ දමා තිබෙනවා. ඒ වගේම මේක මූලික අයිතිවාසිකම් නඩුවක් නිසා, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී, රාජ්‍ය දේපලවලට සිදුකරනු ලැබූ මේ අපහරණය පිළිබඳව, රටේ යුක්ති සහගත නීතීඥයින් හා ජනතාව සොයා බැලිය යුතුයි. මේ රාජ්‍ය දේපල වලට සිදු කරන ලද මේ අපරාධය සම්බන්ධයෙන් රාජ්‍ය දේපල පනත යටතේ මේ අය සම්බන්ධයෙන් අනාගතයේ අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකිද කියා. 

 

විශේෂයෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ තීරණ ගැනීමේදී, අපගේ මුල්‍ය පනත යටතේ මහ බැංකුවේ අධිපතිවරයා පමණක් නෙවෙයි, ඒ අවස්ථාවේ සිටි මූල්‍ය මණ්ඩලයත් මේකට වගකිව යුතුයි. ඒ වගේම රටේ ඇතිවුණේ මූල්‍ය අර්බුදයක් පමණක් නෙවෙයි. දැවැන්ත බලශක්ති අර්බුදයක්. ඒ නිසා 2020, 2021, 2022 කාලය බලශක්ති ක්ෂේත්‍රය, ඉන්ධන ක්ෂේත්‍රය, භාරව සිටි අයත් මේ ආර්ථික අපරාධයේ කොටස්කරුවන්. මේ පාලනය සඳහා සහාය දීපු ඇතැම් නිලධාරීන් වගේම ඇතැම් කණ්ඩායම් මෙයට වගකිව යුතුයි.

විශේෂයෙන්ම මෙවැනි පිරිසක් බලයට ගෙන ඒම සඳහා ජනමාධ්‍ය හරහා ප්‍රෝඩාවන් නිර්මාණය කර පිරිසුත් මෙයට දිගු කාලීනව වගකිව යුතුයි. ඒ නිසා ඒ අයට අද බැහැ දේශපාලනයට ඇවිල්ලා අත හෝදගෙන ගෝඨා නොමඟ ගියා. මහින්ද නොමඟ ගියා වගේ කතා ප්‍රකාශ කරමින් අපි කිව්ව දේ කළා නම් ඕවා වෙන්නෑ වගේ කතා ප්‍රකාශ කරන්න.

 

දැන් අධිකරණය ඉදිරියේ ඉතාම පැහැදිලිව රට බංකොලොත් භාවයට පත්වීමේ වගවීම ඔවුන්ට පැවරිලා තියෙනවා. ඒ වගේම මේ 20222 - 2023  වසරවලදී ආර්ථික බංකොලොත්භාවය නිසා රටට අහිමි වෙච්ච ධනය අපේ දළ දේශීය නිෂ්පාදනයට අහිමි වෙච්ච ධනය ඩොලර් බිලියන 6ක්. එක පුද්ගලයෙකුට රුපියල් 83,000ක්. ඒ නිසා මේ රටේ සෑම ජනතාවටම මේ රුපියල් 83,000 අහිමි වීමේ වන්දිය මේකට වගකිවයුතු අය දැරිය යුතුයි. ඒ නිසා තවදුරටත් නීතියෙන් වරදකරුවන් වූවන්ට නිල නිවාස පවත්වා ගන්න, නිල වාහන භාවිතා කරන්න, රාජ්‍ය දේපොළ භාවිතා කරන්න කිසිඳු අයිතියක් නැහැ. මොවුන් සතු දේපළ කවරක්දැයි කියලා හොයලා බලලා, ඒවායින් වන්දි ලබාගැනීමටත්, අධිකරණය ඉදිරියේ මේ රටේ ජනතාව ගමන් කළ යුතුයි. 

 

ඇත්තටම දැන් සිදුවිය යුත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිරුවා හැරීමයි. මොකද රටක් බංකොලොත් කළ පක්ෂයකට තවදුරටත් දේශපාලනය කරන්න හෝ පාර්ලිමේන්තුවේ නාඩගම් නටන්නට බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙයට වගකිව නැති පිරිසක් ඉන්නවා. ඒ වගකිව යුතු නැති පිරිසට, රටේ අනාගතය දේශපාලනය කිරීමට ඉඩ දීලා, මහින්ද රාජපක්ෂ මහත්තයා විශේෂයෙන්ම දේශපාලනයෙන් සමුගෙන, තමන්ගේ ඔය රාජ්‍ය දේපල අවභාවිතා කිරීම තවදුරටත් සිදු නො කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, බැසිල් රාජපක්ෂ මහත්තයා විසුරුවා හැරලා රට වෙනත් අයට කරගෙන යන්නට දැන් ඉඩදීමට කාලය එළඹිලා තියෙන්නේ.

ජන අරගලය ගැන (අසම්පූර්ණ විය හැකි?) පුරවැසි ආවර්ජනයක් - (W.G.D. ප්‍රියංකර)

ජීවන අයිතිය වෙනුවෙන් පාරට බැස්ස ජනතාවගේ අරගලය යුක්ති සහගතයි, නීති සහගතයි.

එමෙන්ම පසුගිය වසරේ වීදි බැස තමන්ට තෙල් අහිමි කර තමන්ට විදුලි බලය අහිමි කර, තමන්ට ගෑස් අහිමි කර, තමන්ගේ දරුවන්ට ජීවිතය අහිමි කල, අයට එරෙහිව ඒ අයගේ ජීවන අයිතිය වෙනුවෙන්, මූලික අයිතිය වෙනුවෙන්, පාරට බැස්ස මේ රටේ ජනතාව ගේ අරගලය, යුක්ති සහගතයි, නීති සහගතයි කියන එක මේ අධිකරණ තීන්දුවෙන් ඔප්පු වෙලා තියෙනවා. 


ඒ නිසා ඒ අයව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරපු නිලධාරීනුත්, ඒ අනුව වගවීමට බැඳෙනවා. ඒ නිසා, ඒ 2022 සෘජු ජනතා ක්‍රියාකාරිත්වය, ඒ ජනතා අරගලය නීතිමය වශයෙනුත් යුක්ති යුක්ත කිරීමක් මේ විශිෂ්ට, ඓතිහාසික අධිකරණ තීන්දුවෙන් ලැබෙනවා.''



සබැඳි පුවත් :
රාජපක්ෂවරුන්ට දුන් තීන්දුව ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කතා කරයි

'ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුළු පිරිස වත්මන් අර්බුදයට වග කිව යුතුයි' - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image