සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

රවි සෙනෙවිරත්න විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නේය.

ඔහු සිය පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ ඇප ලබාදිය හැකි රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තමන්ව අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.  

මෙම පෙත්සම විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (12) කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවී වෛද්‍යලංකාර, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එවිට වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වගඋත්තරකරුවන්ට අවසර දෙන ලෙස ඉල්ලීමක් කළාය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන්ට සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර ලබාදෙමින් පෙත්සම යළි ලබන වසරේ මැයි මස 14 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

 පෙත්සම්කාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටින්නේ කොළඹ බම්බලපිටියේ මුහුදු බඩ මාර්ගයේදී බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් තමන්ව පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

 
මෙම අනතුරේ දී කිසිදු ජීවිත අනතුරක් සිදු නොවූ බවත් රජයේ දේපොළ වලට හානිවීම් සිදුනොවූ බවත් පෙන්වා දෙන පෙත්සම්කරු ඇප ලබාදිය හැකි වරදකට පොලීසිය විසින් තමන්ව අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත්කරන  ලෙසත් ඉල්ලමින් පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

(adaderana.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්