ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා

වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි.

 සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ඔහු අවධානරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

ඉහළ බදු හේතුවෙන් රටේ උගත් වෘත්තිකයන් සහ පුහුණුවලත් වෙනත් ශ්‍රේණිවල වෘත්තිකයන් රට හැර යෑම ගැටලුවක් බවට පත්ව ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.  

හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.


බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරන වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක සිට ආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරතව සිටිති. මේ අතර, ඉහළ බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුව ලත් වෙනත් ශ්‍රේණින් රට හැර යෑමට පෙළඹීම නිසා තවත් අර්බුදයක් නිර්මාණය වී ඇත. 2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 වර්ෂයේදී බදු ප්‍රතිපත්තිය රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වීමට නියමිතය.

බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බව අප ප්‍රථමයෙන්ම කිව යුතු ය. බදු බර අඩු වූ විට, පුද්ගලයන්ට මෙන්ම සමාගම් වලට ද වියදම් කිරීමට සහ ආයෝජනය කිරීමට ඇති මුදල් ප්‍රමාණය වැඩි වේ. මේ ක්‍රියාකාරකම් නිසා ආර්ථිකයට ජවසම්පන්න බවක් ලැබේ.

 බදු බර අඩු කිරීම මගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගයක් වූ අතර, 2006 සිට 2014 දක්වා කාලය තුළ මේ රට අත්විඳින ලද නව වසරක අඛණ්ඩ ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගැනීමට එම ප්‍රතිපත්තිය විශාල ලෙස දායක විය. ජනතාවට ඔරොත්තු දෙන මට්ටමක බදු බර පවත්වාගෙන යෑම සඳහා 2006-2014 කාලය තුළ අපේ රජය වසරක් පාසා රජයේ බදු ආදායම වැඩි කරණු ලැබුවේ වසරකට රු. බිලියන 100ක් වැනි අගයකිනි. ජනතාව මත පටවන බදු බර අඩු මට්ටමක පවත්වාගන්නා අතරතුර, එම ප්‍රතිපත්තියේ තිරසාර භාවය සහතික කිරීම සඳහා, 2005 අවසානයේ 90% ක් වූ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය මගේ ආණ්ඩුව සුපරීක්ෂාකාරී ආර්ථික කළමනාකරණය තුළින් 2014 අවසානය වන විට 69% දක්වා අඩු කළේය.


මුත් පසුගිය වසර ගණනාව මුලුල්ලේ, රාජපක්ෂ නාමය සමඟ යන්තම් හෝ ගෑවී තිබුණ සෑම දෙයකටම කිසිදු වගවිභාගයකින් හෝ කරුණු සොයා බැලීමකින් තොර විරෝධයක් ගොඩ නැගීම අරමුණු කරගත් ඉතා මැනවින් සංවිධානය කරණු ලැබූ ප්‍රචාරක ව්‍යාපාරයක් විය. අඩුවෙන් බදු අය කිරීමේ ආර්ථික ප්‍රතිපත්තියත් එම රාජපක්ෂ විරෝධී ප්‍රචාරයේ ගොදුරක් බවට පත් විය. අඩුවෙන් බදු අය කිරීමේ මුලු සංකල්පයම කළු කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩු තම ගජමිතුරන්ට උදව් කිරීමට බදු අඩු කළ බවට චෝදනාවක් ජනගත කරන ලදී. එය සම්පූර්ණ මුසාවකි. බදු නිදහස් කිරීම් ලබා දිය හැක්කේ ආයෝජන මණ්ඩල පනත සහ උපායමාර්ගික  සංවර්ධන ව්‍යාපෘති පනත වැනි නීති යටතේ නිශ්චිත ව්‍යාපෘති සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා පමණි.


2015 දී අපේ ආණ්ඩුවේ පරාජයෙන් පසු, අඩු බදු ප්‍රතිපත්තියක් වෙනුවට ඉහළ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී. එයත් සමඟම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2015 න් පසු වසරක් පාසා අඩු වී, 2019 වන විට ඍණ 0.2 දක්වා පහත වැටුණි.

2015-2019 රජය යටතේ, බදු බර වැඩි වෙන අතරතුර අයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් විදේශ ණය තොගය ද වේගයෙන් වැඩි විය.

2015 ජනවාරි මාසයේදී මා ජනාධිපතිවරණයෙන් පරදින විට, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 5,000ක් විය. 2020-2022 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර තොගයෙන් ඇ.ඩො. මිලියන 2,500 ක් ගෙවා දැමීම නිසා මගේ කාලයේ ලබාගත් ස්වෛරීත්ව බැදුම්කර වලින් දැන් ගෙවීමට ඉතිරිව ඇත්තේ ඇ.ඩො. මිලියන 2,500 ක් පමණි.

නමුත් 2015 සහ 2019 අතර පැවති ආණ්ඩුව නව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇ.ඩො. මිලියන 10,000 කට වඩා ලබාගෙන තිබීම හේතුවෙන්, අපට තවමත් ඇ.ඩො. මිලියන 12,500 ක ස්වෛරීත්ව බැදුම්කර තොගයක් ගෙවීමට ඉතිරිව තිබේ.


අපේ ආර්ථිකයේ කොන්ද කැඩුණේ 2015 සහ 2019 අතර ලබාගත් මේ ඇමෙරිකානු ඩොලර් මිලියන 10,000ක නව ස්වෛරීත්ව බැදුම්කර නිසා ය. 2019 අවසානයේ මම නැවත වරක් අගමැති වී මාස කිහිපයකට පසු කෝවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට පැමිණි විට, අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හදිසි ආධාර ඉල්ලා සිටියෙමු. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දන්වා සිටියේ, අප රටේ ණය තොගය සීමාව ඉක්මවා ගොස් තිබුණු නිසා ඔවුන්ගේ හදිසි සහන පැකේජය ලබා ගැනීමට අපට සුදුසුකමක් නොතිබුණු බවයි.


ඉන්පසු, ඔවුන්ගේ සහය අපට ලබා ගැනීමට හැකිවන පරිදි සුදුසුකම් ලබා දෙන කොන්දේසි මාලාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අපට යෝජනා කර සිටියේ ය. නමුත්, එදා එම කොන්දේසි අප පිළිගත්තේ නම්, 2020 සහ 2021 වසරවල අප සිදු කළ ආකාරයට කෝවිඩ්-19 වසංගතයට මුහුණ දීමට නොහැකි වනු ඇත.


වත්මන් රජය දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක කොටසක් හැටියට දැඩි කොන්දේසි ක්‍රියාත්මක කරමින් සිටී. මේ ආකාරයට එක දෙයකින් තවත් දෙයකට මඟ පෑදුණු අතර මේ සියල්ලේම අවසන් ප්‍රතිපලය වී ඇත්තේ, විශ්ව විද්‍යාල උපාධි සහ වෘත්තීය සුදුසුකම් ඇති ඉහළ පෙළේ වෘත්තිකයන් බදු අඩු කරන ලෙස ඉල්ලමින් මහ පාරේ උද්ඝෝෂණය කරන තත්ත්වයක් ඇති වීමයි.


මා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වූවත්, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා වන්නේද අපට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂයක නායකයෙකි.

''මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීමය''

මේ රට සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයකට පත්වීමේ තර්ජනයක් පැවති අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කාලය තුළ රට පාලනය කිරීමට පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කරන ලදී. නව ජනාධිපතිවරයා රටේ නීතිය හා සාමය ඉතා සාර්ථකව යථා තත්ත්වයට පත් කළේය. ඔහු දැන් විධායක ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවයි. මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීමය.

අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

මැතිවරණ ළං වන විට, නොයෙක් ප්‍රචාරක උපක්‍රම හා සමාජ මාධ්‍ය මෙහෙයුම් හරහා ජනතාව කුලප්පු කර ඔවුන් කිසිදු වගවිභාගයකින් තොරව කඩිමුඩියේ අන්ධ ලෙස කිසියම් දිශාවකට රැගෙන යෑමේ උත්සාහයන් නැවත වරක් අපි දකිමු. ඉදිරි මැතිවරණවලදී ජනතාව කුමන තීරණයක් ගත්තත් එය තාර්කික චින්තනය හා නිවැරදි කරුණු සහ දත්ත මත පදනම් වූ තීරණයක් විය යුතුය.

අපි තවමත් ජීවත් වන්නේ 2015 ජනවාරියේ ඇතැම් ඡන්ද දායකයන් අපරික්ෂාකාරී ලෙස ගත් තීන්දු වල ප්‍රතිවිපාක තුළය. තවත් එවැනි වැරැද්දක් මේ රටට දරාගත නොහැකි වනු ඇත.''

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්