ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදීගැනීමට තමන් වරදකරුවෙක් නොවේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය

රඹුක්වැල්ල පැවසීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එබව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (22) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

සත්‍ය සම්පූර්ණයෙන්ම විකෘති කර කරන ප්‍රකාශවලට පිළිතුරු නොදී සිටිය හොත් පුවත්පත්වල පළකරන කටුන් ද සත්‍ය වන බවත් අගෝස්තු මස 2 වැනිදා මෙම සිද්ධියේ පැමිණිළි කළේ ද තමන් බවත් අමාත්‍යවරයා කීය.

වර්තමානයේ ප්‍රශ්න මතුවී තිබෙන නිෂ්පාදකවරයා 2013 වසරේ සිට ඔහුට නිෂ්පාදනාගාරයක් ඇතැයි පවසමින් විවිධ අවස්ථාවල රජයට බෙහෙත් සැපයීමට උත්සහ කර ඇතැයි කී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, තමන් ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව ද ඔහුගේ ඉල්ලීම් නැවත නැවත අලුත්වෙමින් පැමිණි බව ද සඳහන් කළේය.

එම ඉල්ලීම් ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීම ඇමතිවරයා හැටියට කළ බවත් ඒ අනුව අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීයා සති කීපයකට පසුව එම ඉල්ලීම්වල එකඟ නොවන්නේ යැයි දැනුම්දීමෙන් පසුව ඇමතිවරයාට ලෙස ඉන් එහාට ක්‍රියා කළ නොහැකි බවත් ඔහු කීය.

එය කළ නොහැකි නිසා ඉන් පසුව කථාව නොමැති බව කී රඹුක්වැල්ල ඇමතිවරයා පැවසුවේ, ඉන් පසුව ප්‍රසංපාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමතිවරයාට සම්බන්ධයෙක් නොමැති බවත්ය.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුම්කරුට හදිසියේ මුදල් ගෙවීම්වල තමන්ගේ කිසිඳු සම්බන්ධයෙක් නොමැති බවත් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ජාලය එය ක්‍රියාත්මක කර ඇති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩි දුරටත් සඳන් කළේය.  


''සාක්‍ෂි ලැබුණොත් කෙහෙළියත් අල්ලනවා''


මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුයේ, හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යැයි නිෂ්චිත සාක්‍ෂි ලැබුණොත් අනිවාර්යෙන් අත්අඩංගුවට ගනු ලබන බවයි.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ඇති චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් කළ විමසුමේදී අමාත්‍ය ටිරාන් අලස් තවදුරටත් මෙසේ පැවසීය.

“මම සාමාන්‍යයෙන් අනිත් අමාත්‍යංශවල දේවල් ගැන කථා කරන්නේ නෑ. ඒක එකක්. මේ සිද්ධිය සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරනවා. සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරලා ඇමතිතුමා වැරදි කියලා එගොල්ලන්ට ඇති වෙන්න සාක්කි තිබුණොත් එගොල්ලන් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනීවි.

හැබැයි සාක්‍ෂි තියෙන්න ඕන. මාධ්‍යයෙන්වත්, දේශපාලන පක්‍ෂවලින්වත් කෑගැහුවට ඇමතිතුමාව ගන්න ඕන, ඇමතිතුමාව ගන්න ඕන කියලා ඒක වෙන්නෙ නෑ. දැන් ඔය ප්‍රශ්නයට යම්කිසි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්ස් මම දැක්කා මීඩියාවලත් හරියට යනවා ලේකම්තුමාවත් ගන්න ඕන කියලා. නමුත් ලේකම්තුමාව අත්අඩංගුවට ගත්තෙ නෑ. සී.අයි.ඩී. එක හරියටම එගොල්ලන්ට සාක්‍ෂි ලැබිලා එගොල්ලන්ට සැක කරන්න පුළුවන් හරි සාක්‍ෂි තිබුණ හින්දා තමයි ඊට පස්සෙ අත්අඩංගුවට ගත්තේ.

ඒ වගේම සාක්‍ෂි ලැබුණොත් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී. ඒක වෙනසක් වෙන්නේ නෑ”
 


ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදුවූ දෑ පිළිබඳව බීබීසි සිංහල සේවය විසින් කරුණු සොයා බැලීමක් සිදුකර තිබිණ. මෙහි පහත පලවන්නේ ඒ සම්බන්ධයෙන් වූ සටහනකි


ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු වුයේ කුමක් ද?


ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබූ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් පසුගිය වසරේ දී පැන නැගුණු බව කවුරුත් හොඳින් දන්නා කරුණකි.

ඇතැම් ඖෂධ වර්ග සහ එන්නත් සීමාසහිත වීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත පවා අවදානමට ලක්වූ අතර දුෂ්කරතා මධ්‍යයේ වෛද්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි වෙහෙසක් දැරීය.

එවැනි පසුබිමක් යටතේ ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ තොගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව චෝදනා එල්ල විය.

මෙම ප්‍රශ්නගත ඖෂධය නිසා මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

ඒ, මෙම එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ක්‍රියාත්මක කරන පුළුල් විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසය.


ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය යනු කුමක්ද?



මතභේදයට තුඩු දී තිබෙන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නම් ප්‍රතිදේහ එන්නත කුමක්දැ යි පළමුව බීබීසි සිංහල සේවය විසින් කරුණු සොයා බැලීමක් සිදුකළේ ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසුවේ, මෙම එන්නත භාවිතා කරනු ලබන්නේ මිනිස් සිරුරේ ප්‍රතිදේහ අවම පුද්ගලයින් සඳහා බව යි.

"මේ එන්නත මනුෂ්‍යයෙකු ගේ සිරුරේ ප්‍රතිදේහ මට්ටම පවත්වාගෙන යාමට යොදා ගන්නවා. ස්වභාවික වශයෙන් රුධිර ප්ලස්මාවල තියෙන ප්‍රෝටීනය සමහර පුද්ගලයින්ගේ සිරුර තුළ නිෂ්පාදනය අඩුවෙන්න පුළුවන්. කුඩා දරුවන්ගේ ඇතැම් රෝගී තත්ත්වයන් සමග ප්‍රතිදේහ නොමැතිවීම ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ සිරුරේ ප්‍රතිදේහ මට්ටම අවම වීම නිසා ඇතිවන සංකුලතා අඩුකර ගැනීම සඳහා මේ ඖෂධය එන්නතක් විදිහට ලබා දෙනවා, වෛද්‍ය නිර්දේශවලට යටත්ව," ඔහු පැවසීය.

ප්‍රතිදේහ තොගය මිලදී ගැනීමේ පසුබිම් කතාව

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කළ කරුණු සොයා බැලීමේ දී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ, මෙම සිදුවීමට මූලික වූ කරුණු 2022 වසර දක්වා දිවයන බව යි.

"මේ කතාවේ ආරම්හය සිද්ධ වෙන්නේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වැනිදා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 182ක් මිල දී ගන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒක සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මිල දී ගන්නයි අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ.

"මේ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කරන දවසෙම සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝගයක් එක්ක ඒ ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවන්න සැප්තැම්බර් 27 වැනිදා වගේ පළ කරනවා. නමුත් බලාපොරොත්තු වුණු විදිහට කැබිනට් මණ්ඩලයේ මේක එදා සම්මත වෙන්නේ නෑ, මොකද සාකච්ජාවට ගත්තේ නැති නිසා.
"මට මතක හැටියට ඔක්තෝම්බර් තුන්වෙනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී මේ කැබිනට් පත්‍රිකාව සම්මත වෙනවා. ඒ වගේම, සැප්තැම්බර් 27 වැනිදා පබ්ලිෂ් කරපු ටෙන්ඩර් එක ඔක්තෝම්බර් තුන්වෙනිදා ක්ලෝස් කරලා දවස් කිහිපයක් ඇතුළත ඒවා එවැලියුවෙට් කරලා අදාළ සමාගම තෝරනවා.

"සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගන්න එක ගැන අනිත් කරුණු එක්ක අධිකරණයේ දී තර්කානුකූලව කරුණු ඉදිරිපත් වුණේ මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කියන බෙහෙත පසුකාලීනව හොයා ගන්නවා ඒක ව්‍යාජව සාදපු එකක් කියලා," ඔහු පැවසීය.


Namini w

'ඖෂධ තොගය ව්‍යාජව සෑදූ එකක් බව ඔප්පු වුණේ මෙහෙම යි'

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ව්‍යාජව සාදන ලද එකක් බවට තහවුරු වූයේ, එම එන්නත මෙරටට ආනයනය කළ බව කියූ ඉන්දියානු සමාගම කලබලයට පත්වීමෙන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේ ය.

"මේ ඖෂධය ව්‍යාජ යි කියලා තීරණය වෙන්නේ, මේ ගනුදෙනුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා කියලා වෘත්තීය සමිති ප්‍රශ්න කළාම, ඒවා පුවත්පත්වල වාර්තා වුණා. මේ ඖෂධය ලංකාවේ දේශීය නියෝජිතයාට සපයපු ඉන්දියානු සමාගම කලබල වෙලා, ඔවුන් ඒකට ප්‍රතිචාර දක්වනවා.

"ඒ ප්‍රතිචාර දක්වද්දී කියනවා තමන්ගේ සමාගම මේ එන්නත සාදන්නේ නැහැ කියලා. ලංකාවේ මෙහෙම සමාගමකට ලබා දුන්නේ නැහැ කියා ප්‍රකාශ කරනවා. එතකොට ඉන්දියානු සමාගම ලබාදුන් බව කියන තත්ත්ව පරීක්ෂා සහතික ගැන ගැටලුවක් ඇති වෙනවා.

"ඒ ගැන සාකච්ජා කරද්දී හිටි හැටියේ ඖෂධ නියාමන අධිකාරිය එළියට ඇවිල්ලා පැමිණිල්ලක් දානවා, ඒ ඖෂධ මිල දී ගැනීමේ දී ඉන්දියාවෙන් ලංකාවට ඒ එන්නත් ලියාපදිංචියෙන් තොරව ගෙන්න අවසර දුන්න හදිසි මිල දී ගැනීමේ දී, ‍‍රේගුවෙන් තත්ත්ව පරික්ෂා කිරීමෙන් තොරව නිදහස් කරන්න සහතිකය ඔවුන් ලබාදුන් එකක් නෙමෙයි ඒක ව්‍යාජ එකක් කියලා.

"පස්සේ කරුණු අනාවරණය වෙනවා මේ වගේ ඖෂධයක් රේගුව හරහා ඉන්දියාවෙන් ලංකාවට ඇවිත් නැහැ කියලා," ඔහු කියා සිටියේ ය.


ආනයනය නොකළ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විකුණුවේ කොහොම ද?



ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ඉන්දියාවෙන් මෙරටට ආනයනය නොකළ බවට හෙළිවූව ද දේශීය නියෝජිතයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්නත් 3,000කට අධික ප්‍රමාණයක් ලබාදී තිබූ බව රවී කුමුදේශ් පැවසුවේ ය.

"මේ එන්නත් ඇණවුම 22,500ක්. නමුත් මේ දේශීය නියෝජිතයා අවස්ථා කිහිපයක දී එන්නත් 2500, 300, 150 බැගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීලා තියෙනවා. සමස්ත එකතුව ගත්තම එන්නත් 3000-4000ත් අතර ප්‍රමාණයක්.

"මේ ලබාදුන් ක්‍රමය ගැනත් සැකයක් ඇතිවුණා. නමුත් මේ එක සැකයක්වත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයටවත්, වැටලීම් ඒකකයටවත්, ඖෂධ නියාමන අධිකාරියටවත්, වෙන කාටවත් මතුවෙලා තිබුනේ නෑ. මේ තොරතුරු හොයන වෘත්තීය සමිතිවලට යි මේවා හොයාගන්න ලැබුණේ," ඔහු පැවසුවේ ය.


සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ලවූ චෝදනාව


ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිල දී ගැනීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ලවූ චෝදනාව නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම වෘත්තීය සමිති විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනු ලැබූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය.

"මේ එන්නත් 22,500 අරගත්ත නම් ඒකේ සම්පුර්ණ ගණුදෙනුව රුපියල් ලක්ෂ 9,500ක් පමණ වෙනවා. ඊට අමතරව මේ සමාගම විසින් පිළිකා රෝගීන්ට ලබා දෙන එන්නත් 2,000ක් ලබාදීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. මේ ලබාදී තිබෙන එන්නත් දෙවර්ගයේ වටිනාකම ලක්ෂ 1400ක් පමණ වෙනවා," ඔහු පැවසුවේ ය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වන බව පැවසුව ද එලෙස ඖෂධ ගෙන්වීමක් සිදුවී නොමැති පසුබිමක, එම මුදල් දේශීය මුදල්වලින් ගෙවන ලෙසට නියෝගයක් ද ලබාදී ඇති බවට කරුණු වාර්තා හෙළිවූ බව ඔහු මෙහිදී පැවසුවේ ය.

"ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මේ ඖෂධ ගේනවා කිව්වට එහෙම දෙයක් වෙලා තිබුණේ නෑ. ඉන්දියාවේ නිෂ්පාදනය නොකළ කිසිම දෙයකට ඒ ණය පහසුකම් යටතේ මුදල් ගෙවන්නේ නැහැ.

"නමුත් පසුව තේරෙනවා ලංකාවේ මුදලින් මේ සැපයුම් සඳහා මුදල් ගෙවන්න කියලා සෞඛ්‍ය ලේකම්වරයා හරහා නියෝගයක් ඇවිත් තිබෙනවා කියලා."
‘මේක සැලසුම් සහගතව කළ දෙයක්’

මෙම ප්‍රශ්නගත ඖෂධ තොගය ලබාදී මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලසුම් සහගතව සිදුකළ දෙයක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද මෙහිදී රවී කුමුදේශ් සඳහන් කළේ ය.

"ඔය කාරණා එක්ක ගත්තම ඖෂධය ගෙන්වීමේ දී රේගුවෙන් නිදහස් කරන්න ලබාදුන් WRO සහතිකය නැහැ. මේ සමාගම ඉන්දියාවෙන් ගෙන්වලා නැහැ. ඉන්දියාවේ ණය පහසුකම් යටතේ ගෙවීම් කරලා නැති නිසා ලංකාවේ මුදලින් සල්ලි ගෙවලා තියෙනවා. මේ ඖෂධ පරීක්ෂා කරලා භාරගන්න ඕන අය ඒක කරලා නැහැ.

තාක්ෂණික වාර්තාවක් නැහැ. තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රමාණික දැනුම තියෙන විශේෂඥයෙක් පත් කරලා නැහැ.

"දැන් ඔය ඔක්කොමත් එක්ක, යම් කිසි කණ්ඩායමක් සැලසුම්සහගතව මේ ගනුදෙනුව කරලා තියෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ."

"මේ ලක්ෂ 1,400 වංචනිකව ලබාගත් නිසා අදාළ ඖෂධ සැපයු ආයතනයේ හිමිකරු පළමු සැකකරු විදිහට අත්අඩංගුවට ගන්නවා. පස්සේ මේ මුදල් ගෙවන්න අනුමත කරපු වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා, ඔහුට පල්ලෙහා සිටින මුදල් ගෙවූ ගණකාධිවරයෙක්, එහි සේවය කරන තවත් සහකාර අධ්‍යක්ෂවරයෙක්, ගබඩා පාලකවරයෙක්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනවා.

"මේ පිරිස අත්අඩංගුවට ගන්නේ ඖෂධ සැපයු අදාළ සමාගමට රුපියල් ලක්ෂ 1,400ක් ලබා ගන්න සාමූහිකව උදව් කළා කියන නිමිත්ත යටතේ."
"මේ විමර්ශනයේ දී, අත්අඩංගුවට ගත් පිරිස හෙළිකරනවා මේ සියල්ල තමන් ක්‍රියා කළේ එවක සිටි සෞඛ්‍ය ලේකම්වරයා ලබාදුන් නියෝග යටතේ කියලා," ඔහු කියා සිටියේ ය.

Now the x
හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ලේ බැංකුවට දුන් නියෝගය


පර්යේෂණයක් සඳහා, ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සැපයූ දේශීය සමාගමට රුධිරය නිකුත් කරන ලෙසට හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් මධ්‍යම රුධිර බැංකුවට ලිපියක් ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය.

"හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයූ දේශීය සමාගම ඒවා හදන්න මධ්‍යම රුධිර බැංකුවෙන් ගත්ත රුධිරය භාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා," ඔහු පවසයි.

"නමුත් ඔවුන් ඉල්ලීමක් කර තිබෙන්නේ පර්යේෂණයක් කරන්න රුධිරය ලබා දෙන්න කියලා, මධ්‍යම රුධිර බැංකුවෙන්. පර්යේෂණ සඳහා ගත්ත රුධිරය ඖෂධ නිපදවන්න පාවිච්චියට ගන්න බැහැ. ඒ වංචනික කටයුත්ත ගැන සොයා බලන්නේ නැතුව ලිපියක් නිකුත් කර තිබෙනවා," ඔහු කියා සිටියේ ය.

"ඒ එන්නතේ තිබ්බේ කුමක්දැ යි කියා හෙළිවී නැහැ."

දේශීය සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයු හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත්වල තිබුණේ මොනවා ද යන්න කිසිවෙකු නොදන්නා බව මෙහිදී රවී කුමුදේශ් පැවසුවේ ය.

"මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත කොහෙන්වත් ගෙනල්ලා නැහැ, ලංකාවේ හදලත් නෑ. පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ගැන කරපු පරීක්ෂණයේ දී [ඊට] සංවේදී වන ආකාරයට [එන්නතේ] ඉමියුනෝග්ලොබියුලීන් තිබී නැහැ කියලා. එහෙම නෙමෙයි නම්, ඒකේ තිබ්බේ මොකක්ද කියලා දන්නෙත් නැහැ.

"ඒ වගේම මේ වගේ ඉමියුනෝග්ලොබියුලීන් එන්නතක් හදන්න රසායනාගාර පහසුකම් ලංකාවේ ඇත්තෙත් නැහැ කරන්න."

"කැබිනට් මණ්ඩලය අනුමත කරන්න ඉස්සර වෙලා ටෙන්ඩර් පටිපාටිය වෙලා තියෙනවා. ඒ වගේම දේශීය සැපයුම්කරුට ඉන්දියන් ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙනාවා කියන දේට ලංකාවේ මුදලින් මුදල් ගෙවන්න නියෝග ලබාදීලා තියෙනවා."

"මේ ඔක්කොම කරුණු එක්ක සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙක් විදිහට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළාට පස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා," ඔහු කියා සිටියේ ය.

එක් එක්කෙනාව අත්අඩංගුවට ගන්නවා


ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් දැනට සිදුකරගෙන යන විමර්ශනය සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුවගෙන් විමසීමක් කරන ලදී.

මෙම සිදුවීම වෛද්‍යමය තොරතුරු පදනම්ව ඇති නිසා, ඒ සම්බන්ධයෙන් කේෂ්ත්‍රයේ විශේෂඥ සහාය ද ඇතිව විමර්ශනය අඛණ්ඩව ගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

"මේ විමර්ශනය අඛණ්ඩව ක්‍රියාත්මක යි. එකපාරම ඔක්කොම අය අත්අඩංගුවට ගන්න බැහැ. නමුත් එක් එක්කෙනා අත්අඩංගුවට ගන්නවා.

"මේ ලේඛණවල තියෙන දේවල් සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ නිසා ඒවා ගැන විමර්ශන නිලධාරින් විශේෂඥයින්ගේ සහය අරන් ඉදිරි කටයුතු කරන් යනවා."

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්