ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් කීර්තිමත් නීතිඥයන් දසදෙනකු ජනාධිපති නීතිඥයන් ලෙස පත්කර තිබේ.

ඔවුන් නුදුරේදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්සවාකාර රැස්වීමකදී දිවුරුම් දීමට නියමිතය.

ඉන් අනතුරුව, පත්වීම් ලැබූවන් ජනාධිපති නීතිඥයන් ලෙස සළකනු ලබන අතර, ඔවුන් අභ්‍යන්තර නීතිඥ මණ්ඩලය වෙත කැඳවනු ලැබේ.

ජනාධිපතිවරයා විසින් පත්වීම් කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් දසදෙනා වන්නේ,

1- චමන්ත වීරකෝන්,
2- ආචාර්ය අසංග ගුණවංශ,
3- මොහොමඩ් ආදමලි,
4- හර්ෂ ප්‍රනාන්දු,
5- ආචාර්ය සිවාජි ෆීලික්ස්,
6- ෆයිස මාකර්,
7-කෞෂල්‍ය නවරත්න,
8- උපුල් කුමරප්පෙරුම,
9- විරාන් කොරයා සහ
10- එරාජ් ද සිල්වා යන පිරිසයි.

ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව එහි 33(ඇ,ඇ) අනු ව්‍යවස්ථාව අනුව, "නීතිඥ වෘත්තියේ විශිෂ්ඨත්වයට පත්ව ඇත්තා වූද, පැවැත්මෙහි හා වෘත්තීය කටයුතු පිළිබද අවංකභාවයෙහි උත්කෘෂ්ඨ (ඉතා ඉහල තත්වයක්) පවත්වාගෙන යන නීතිඥවරු"  ජනාධිපති නීතිඥවරු ලෙස පත් කිරිමට ජනාධිපතිවරයාට බලය හිමිවේ.

 ජනාධිපති නීතිඥයන් දස දෙනකු පමණක් ජනාධිපතිවරයාට එක්වරකට පත් කළ හැකි පරිදි සීමා පනවමින් මාර්ගෝපදේශ සංග්‍රහයක් අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. එම මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කර ඇත්තේ හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සහ අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක, නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ඇතුළු නීතිඥයන් පිරිසක් විසිනි.

නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, පසුගිය අගෝස්තු 19 දා 'සති අග අරුණ' කළ විමසීමකදී පවසා ඇත්තේ,  ජනාධිපති නීතිඥ යන පදවිය ලබාදීමේ දී දේශපාලන මැදිහත්වීම් අවම කිරීම සඳහා මේ පියවර අනුගමනය කළ බවයි.

ඒ අනුව, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත නීතිඥයන් තෝරා ගැනීමට අදාළ අයැදුම්පත් කැඳවීමක් සිදුකර තිබිණ. ඒ අනුව 2023 අගෝස්තු මස 09 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව ජනාධිපති නීතිඥයන් පත්කිරීම සිදුකර ඇත.
Presidents Counselපසුගිය සමයේ ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම් සම්බන්ධයෙන් 'සති අග අරුණ' වෙත අදහස් දක්වා ඇති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මෙසේ සඳහන් කර ඇත.

'' හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ පාලන සමයේ 2017 සිට 2019 දක්වා කාලයේ දී ජනාධිපති නීතිඥවරුන් හැත්තෑ පස්දෙනක් පත් කළා. එය ඇත්තටම දේශපාලනික සහ ජනාධිපති නීතිඥ යන පදවියට එක්කළ කළු පැල්ලමක්. මම එකළ නීතිඥ සංගමයේ සභාපති විදිහට හිටියේ. ඒ නිසා මම පෞද්ගලිකව ජනාධිපතිවරයාව හමුවෙලා කිව්වා මෙවැනි දේශපාලනික පත්කිරීම් කරන්න එපා අපි මේවා නිසි ක්‍රමවේදයකට අනුව කරමු කියලා. ඒත් වැඩේ වුණේ නැහැ. අන්තිමේදී 2019 වසරේදී මමයි ඒ කාලේ හිටපු අධිකරණ ඇමැතිවරයාව සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි එකතු වෙලා මේ පදවිය වෙනුවෙන් පත්කරන පිරිසට නිසි සුදුසුකම් ඇතුළත් මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කළා. ඒකට හේතුව තමයි දේශපාලන පත්කිරීම්වලට ඉඩනොදී සුදුසුස්සාටම සුදුසු තනතුර ලබාදෙන්නට අවැසි නිසයි. ඒ මාර්ගෝපදේශ සංග්‍රහයේ තිබුණු වැදගත්ම කරුණ තමයි ජනපතිවරයාට වරෙකට ජනාධිපති නීතිඥයන් පත්කළ හැකි වන්නේ දස දෙනකු පමණක් වීම. ඒ වගේම මෙසේ පත් වන්නන් අවුරුදු 5ක් තුළ ආදායම් බදු ගෙවූ පුද්ගලයෙක් විය යුතුයි. එහිදී ඔහුට ආදායම් බදු ලිපි ගොනුවක් ඉදිරිපත් කිරීමටත් සිදු වෙනවා යැයි නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා '' පවසා තිබිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්