දේශීය වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 650 ඉක්මවා තිබේ.
මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින්ගේ ලොකු ලූණු ඉල්ලුම සීඝ්රයෙන් අඩු වෙමින් පවතින බව පිටකොටුව මැනින් පොදු වෙළඳ සේවක සංගමයේ සභාපති එච්.එම්. උපසේන පැවසීය.
ලොකු ලූණු මිල වැඩිවීමත් සමඟ ඒ සඳහා පැවති ඉල්ලුම අඩුවීම මේ වන විට උපරිම අවස්ථාවේ පවතින බව ඔහු කියා සිටියේ ය.
වෙළඳපොලට පැමිණෙන ලොකු ලූණුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටළු පවතින බව ඔහු සඳහන් කළේය.
ඉන්දීය ලූනු තහනම තවත් මාස 3ක්
ලූනු මිල ඉහළ යෑමට බලපා ඇත්තේ ලොව විශාලතම ලූනු අපනයනකරුවා වන ඉන්දියාව පසුගිය දෙසැම්බර් 8 දා සිට ලොකු ලූනු අපනයනය තහනම් කිරීමට පියවර ගැනීමය. මෙම තහනම 2024 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
ඉන්දියාවේ ලොකු ලූනු නිෂ්පාදනය පහත වැටීමෙන් පසු මාස තුනක් වැනි කාලයක් තුළ එරට ලූනු මිල දෙගුණයකට වඩා ඉහළ යෑම හේතුවෙන් මිල පාලනය සඳහා මෙම තීරණය ගෙන ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි ඉන්දියාවෙන් ලූනු ආනයනය කළ රටවල ලොකු ලූනු මිල විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත.
මෙරට පාරිභෝගිකයන්ගේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 280,000ක් පමණ වේ. මෙරට සාමාන්‍ය ලොකු ලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 125,000ක් පමණ ප්රමාණයකි. ඉතිරි අවශ්‍යතාව සපුරා ගන්නේ ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ලූනු ආනයනය කිරීමෙනි.
වර්ෂාව, පොහොර හිඟය සහ පොහොර මිල ඉහළ යෑම වැනි විවිධ හේතු මත පසුගිය සමයේ මෙරට ගොවීන් ලොකු ලූනු වගාවෙන් ඉවත් වූ බැවින් 2023 වසරේ ලද අස්වැන්න ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7851ක් දක්වා අඩු විය.