'බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකයක්' ( Taxpayer Identification Number - TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම්

කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.

"ඕනේම වෙලාවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඒකට යොමු කිරීම තුළින් TIN අංකයක් ගන්න පුළුවන්. වඩාත් පහසු කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේක ලබාදෙන්න වැඩපිළිවෙලකුත් තියෙනවා. අපි සඳුදා මේ ගැන සාකච්ඡා කරලා, ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම බදු ගෙවීමේ බරක් පැටවෙන්නේ නෑ. බොහෝ අය බයයි නේ. මාසයක ආදායම රු ලක්ෂයකට වැඩි අයට විතරයි බද්දක් ගෙවන්න වෙන්නේ."


කෙසේ වෙතත් පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පවසන්නේ, බදු ගෙවීම් පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින් සුරකමින් අසාධාරණ ලෙස රජය බදු අය කරගන්නා බවය.

මේ අතර, වයස අවුරුදු 18ට වැඩි සියල්ලන්ම ජනවාරි මස පළමුවැනිදා සිට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම අනිවාර්ය කර ඇති පසුබිමක එම අංකය ලබාගැනීම සඳහා ජනතාව මේ දිනවල දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත පැමිණෙනු අයුරු දැකගන්නට ලැබුණි.


 'TIN' : අයැදුම් කරන්නේ කොහොමද?


2024 ජනවාරි මස 01 වන දා හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සියලු ශ්‍රී ලාංකිකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී 'බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකයක්' (TIN) ලබා ගත යුතු බවට ගැසට් නිවේදනයකින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, මෙම අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ පැහැදිලි අවබෝධයක් නැති බව පෙනී යයි.

මෙම ලිපියෙහි අරමුණ වන්නේ, එම අංකයක් ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා දීම ය.

බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය (TIN) තැපැල් මාර්ගයෙන් මෙන් ම ඔන්ලයින් මාර්ගයෙන් ද අයැදුම් කළ හැකි ය.


තැපැල් මාර්ගයෙන් අයැදුම් කිරීම:

1. ඔබට ළඟ ම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් වෙත ගොස් අයැදුම් පතක් ලබා ගන්න. එසේ නැතහොත්, www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස අයැදුම් පත ඩවුන්ලෝඩ් කර ගත හැකි ය.

2. සම්පූර්ණ කරන ලද අයැදුම් පත සහ අවශ්‍ය සෙසු ලියකියවිලි පහත ලිපිනයට තැපැල් කරන්න.

කොමසාරිස් ජනරාල්,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.

ඔබේ TIN අංකය සහිත සහතික පත්‍රය තැපැල් මාර්ගයෙන් ඔබ වෙත ලැබෙනු ඇත.


ඔන්ලයින් ඔස්සේ අයැදුම් කිරීම


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී 'බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය' (Taxpayer Indentification Number -TIN) මාර්ගගත ආකාරයට ද ලබා ගැනීමට අවස්ථාව පවතී.

'TIN Certificate' ලබා ගැනීමට ඔබ කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් සේවාවක් / උපකාරයක් ලබාගන්නේ නම් කිසි ම හේතුවක් මත තමන්ගේ පෞද්ගලික තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර අදාළ වෙනත් කිසි ම පාර්ශවයකට ලබා නොදෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


අවශ්‍ය ලියකියවිලි


බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය (TIN) අයැදුම් කිරීමට පෙර පහත ලේඛනවල පැහැදිලි ස්කෑන් (scan) පිටපත් සූදානම් කරගත යුතු ය.

*ජාතික හැඳුනුම්පත / වලංගු රියැදුරු බලපත්‍රය / වැඩිහිටි හැඳුනුම්පත

*ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම් ලිපිනය තහවුරු කිරීම සඳහා ඔබගේ නමට නිකුත් කළ ජල හෝ විදුලි බිල්පතක්/ ස්ථාවර දුරකතන බිල්පතක්/ ග්‍රාම නිලධාරී සහතිකයක්.

*ඔබ ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් අදාළ ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.


ඉන්පසු අනුගමනය කළ යුතු පියවර පහත දැක්වේ.

1 පියවර

TIN Certificate ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත පිවිසීම හෝ QR Code එක ස්කෑන් (scan) කළ යුතු ය.


2 පියවර

වෙබ් පිටුවෙහි 'Registration Type' ලෙස සඳහන්ව ඇති තැන 'INDIVIDUAL LOCAL' ලෙසින් තෝරා ගැනීමෙන් පසු ලැබෙන අයැදුම්පත නිවැරදිව පුරවන්න.

Nearest Regional Office යන කොටස පිරවීමෙන් වළකින්න.

CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න.

අයැදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබා දීම අනිවාර්ය නැත. ඔබ කැමති නම් එම කොටසට තොරතුරු ඇතුළත් කිරීම හෝ නොකිරීමට හැකියාව පවතී.

ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කළ යුතු විස්තර ද නිවැරදිව සම්පූර්ණ කරන්න.

ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න.


3 පියවර

Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබගේ ජාතික හැඳුනුම්පත ඇතුළු ස්කෑන් කර ගත් ලේඛන නිවැරදිව තෝරා අප්ලෝඩ් කරන්න.

Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න.

එම පිටුව අවසානයේ පහළ ඇති Next Button එක click කරන්න.


4 පියවර

ඔබ ඇතුළත් කළ සම්පූර්ණ තොරතුරු දැන් ඔබට දැක ගැනීමට හැකි ය.

එම තොරතුරු වෙනස් විය යුතු නැත්නම් DECLARATION යන කොටස සම්පූර්ණ කර පසෙකින් පෙන්වන සත්‍යාපන කේතය (authentication code) ඇතුළත් කර ‘Submit’ කරන්න.

එවිට ඔබට ලැබෙන Acknowledgement නමැති තොරතුරු TIN Certificate ලැබෙන තුරු සුරැකිව තබාගන්න.

වැඩ කරන දින 5ක් ඇතුළත ඔබ ලබා දුන් ඊ-මේල් ලිපිනය වෙත ඔබගේ TIN Certificate සහ රහස්‍ය කේතය (PIN) එක ඔබට ලැබෙනු ඇත.

TIN Certificate ලබා ගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳි නොසිටින අතර ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතී නම් පමණක් බදු ගෙවීම හා බදු වාර්තා ගොනු කිරීම සිදු කළ යුතු බව ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


සබැඳි පුවත් :
වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි
බදු අංකය ගත්තු පිරිස ලක්ෂ 10 ඉක්මවයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්