පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී 18%කින් ඉහළ දැමූ විදුලි ගාස්තු ජනවාරි මස අවසන් වීමට පෙර දළ වශයෙන් 50%කින් අඩු කිරීමට

බලාපොරොත්තු වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පැවසිය.

ඔහු සඳහන් කළේ, විදුලිය උත්පාදනය කිරීම සඳහා දායක වන ජලාශවල ජල ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී බැවින් එම “වාසිය” මහ ජනතාවට ලබා දීමට කටයුතු කරන බව යි.

ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.


''පෙබරවාරි මුල් සතියේ විදුලි බිල අඩු කරනවා'' - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය



Indika Anurudhaවිදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ


මේ අතර විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසන්නේ, විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති බවයි. පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල අඩු කරන බව ද ඔහු පවසයි.  

ඔහු එබව කියා සිටියේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනවාරි 05 දා  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

නව ජනන සැලැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.  

''2023 වසරේ දී අප විදුලිබල ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට කටයුතු කළා. පැවති විදුලිබල පනතේ අඩුපාඩු සකස් කර පාරිභෝගිකයන්හට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයේ නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. පාරිභෝගික ආරක්ෂාව සහ නියාමනයට අදාළ කරුණු නව පනතට ඇතුලත් කරමින් තිබෙනවා.

ඒ වගේම විදුලිබල උත්පාදනයේදී පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ලබාගැනීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ අනුව 70%ක විදුලිබලයක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීමට ඉලක්ක කරමින් ජනන සැලැස්ම සකසා තිබෙනවා. එම සැලැස්මට අනුව 2024 වසරේ දී අප මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට කටයුතු කරනවා.  

ඒ වගේම සූර්ය පැනල ඉදිකිරීම අප අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මෙගා වොට් 10ට අඩු ව්‍යාපෘති සඳහා කඩිනම් සැලැසුමක් ක්‍රි යාත්මක කිරීමට අප අපේක්ෂා කරනවා. මන්නාරම, පුනරීන් සහ හම්බන්තොට ප්‍රදේශ සඳහා විශාල ව්‍යාපෘති රැසක් ජනන සැලැස්මට එක් කර තිබෙනවා.  

එමෙන්ම ජලවිදුලිය, සූර්ය බලය සහ සුළං බලය භාවිතා කරමින් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කර විදුලි බිල තවත් අඩු කිරීම අපගේ අරමුණයි. විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී තිබෙනවා. මේ මාසය අවසන් වීමට පෙර හෝ ලබන මස මුල් සතියට පෙර විදුලි බිල අඩුකිරීමට කටයුතු කරනවා. ඒ වගේම 2024 වර්ෂයේදී අප බලාපොරොත්තු වන ඉලක්ක සඳහා ගමන් කිරීම අපගේ අරමුණයි.''

විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා තිබෙන අතර සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිත බව කී රාජ්‍ය අමාත්‍යවරයා, විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක එලෙසම ක්‍රියාත්මක බව ද පැවසීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්