මෙරටට පැමිණෙන සංචාරකයන් පිළිබඳ දත්ත එක් රැස් කිරීමේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට කටයුතු සිදුවෙමින් පවතින බවත් ඒ හරහා වාර්තා

වන සංචාරකයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බවත් සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු පැවසීය.

සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ 2024 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය දා සංචාරක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති අතර සංචාරකයන්ට මෙරටදී මුහුණදීමට සිදුවන ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳ මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඇමතිවරයා මේ බව පැවසීය.

මේ මෘදුකාංගය මගින් සංචාරකයා ගමන් කළ ස්ථාන, ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන, ප්‍රවාහනය සඳහා යොදාගත් මාධ්‍ය යනාදී සියල්ල පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාගැනීමට හැකි යැයි ඔහු කීය.

සංචාරක පොලිසියේ පිරිස වැඩි කරගැනීම, ඔවුන්ට අවශ්‍ය සහය ලබාගැනීම, තාක්ෂණික පුහුණුවක් ලබා දීම පිළිබඳ පොලිස්පති සමග දැනටමත් සාකච්ඡා කර තිබෙන බැවින් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එමඟින් හැකි යැයි ඇමතිවරයා පැවසීය.

මීට අමතරව රට තුළ සංචාරක කලාප 47ක් නම් කිරීමට බලාපොරොත්තු වන බවත් දැනට ඉන් කලාප 24ක් නම් කර තිබෙන බවත් එම කලාපවල පෙට්ටි කඩ, තැඹිලි විකුණන ස්ථාන, ත්‍රිරෝද රථ වැනි සංචාරකයන් සමග සම්බන්ධ වන සියලු දෙනා පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ යැයි ද ඔහු කීය.

සංචාරකයන්ගේ වැදගත්කම ජනතාවට හඳුන්වා දෙමින් ඔවුන්ට ගරු කිරීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම මගින් රටට සිදුවන මූල්‍යමය වාසිය පිළිබඳ දැනුවත් කිරීමට මේ පුහුණුව තුළින් අපේක්ෂා කරන බවත් ඇමතිවරයා පැවසීය.


(mawbima.lk - Irosha Deepani)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්