leader s

සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් අද (16) දිනයේ දී සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද උදෑසන 06.30 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව (ඩැට් එක යනු රජයේ වෛද්‍යවරුන්ට දෙන රාජකාරී බාධා පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව ය) තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

කෙසේවෙතත් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ විසින් වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අනවශ්‍ය පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට බලපෑම් සිදුකළහොත් මෙම වර්ජනය අඛණ්ඩව ඉදිරියට සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

 

''තමන්ට අදාළ නැති දීමනා ඉල්ලන සෞඛ්‍ය වර්ජනය නරක පූර්වාදර්ශයක්''


 මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ, තමන්ට අදාළ නැති දීමනා ඉල්ලා සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතීයික ශ්‍රේණිවල සේවකයන් දියත් කර තිබෙන වැඩ වර්ජනය අතිශයින්ම නරක පූර්වාදර්ශයක් බවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස රජයේ වැටුප් ප්‍රතිපත්තිය අනුව වෛද්‍යවරුන් වෙත පමණක් විශේෂිත දීමනාවක් වූ වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටිමේ හා ප්‍රවාහන දීමනාව (DAT) වැඩි කිරීමෙන් පසු එය තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා කරන මෙම වැඩ වර්ජන විහිළුසහගත සහ ව්‍යවස්ථා විරෝධී බවත් හෙතෙම කීවේය.

 
 රටේ ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය ප්‍රකාරව සාමානයන්ට සමාන ලෙස සැලකිය යුතු බව දක්වා ඇතත් අසමානයන්ට සමාන ලෙස සැලකීමේ ප්‍රතිපාදන නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය.
වෙනත් වෘත්තීය කණ්ඩායමක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අදහස් ප්‍රකාශ නොකරන නමුත් මේ තත්ත්වය විශේෂිත බව කී වෛද්‍ය හරිත අලුත්ගේ, රටේ සෑම ක්ෂේත්‍රයකම නිශ්චිත බෙදීමක් දක්වා වැටුප් තල සහ දීමනා ලබාදීමේ ප්‍රතිපත්තිමය වෙනස ඇති කර තිබෙන්නේ පුද්ගල වගකීම, අධ්‍යාපන සුදුසුකම්, රාජකාරි ස්වරූපය ඇතුළු සමස්තය නිශ්චිත විද්‍යාත්මක අධ්‍යයනකින් අනතුරුව බවත් කීවේය.

සරසවි මහාචාර්යවරයකුගේ දීමනා කාර්යාල කාර්ය සහායකයකුට නොලැබෙන්නත් විනිසුරුවරයකුගේ දීමනාව ලිපිකරුවකුට නොලැබෙන්නත් මේජර්වරයකුගේ වැටුප කෝප්‍රල්වරයකුට නොලැබෙන්නත් හේතුව එය බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වන වෛද්‍යවරුන්ගේ වෘත්තියට විශේෂ දීමනාවක් එම ක්ෂේත්‍රයේ ප්‍රාථමික හෝ ද්විතීයික නිලධාරින් ඉල්ලන්නේ කුමන පදනමින් දැයි වෛද්‍ය හරිත අලුත්ගේ විමසා සිටියේය.

ද්විතීයික ශ්‍රේණියට පහළ සේවකයන් වෛද්‍යවරුන්ට සමාන වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඔහු, මේ සේවකයන් මෙහෙයවන වෘත්තීය සමිතිවල දේශපාලන අරමුණු පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ රට දැවැන්ත අගාධයකට ගෙන යන බව ද වැඩිදුරටත් කීවේය.
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්