වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන්

පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියෝග කළේය.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව ගොනුකළ තවත් පෙත්සම් දෙකක් ලබන 31 දා සලකා බැලීමට නියමිතව තිබෙන බවත් එදිනම මෙම පෙත්සමත් සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.

එහිදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ තමන්ට මෙම නඩුවට අදාල නොතීසි ලැබුණේ පෙරේදා දින බවයි.

ඒ අනුව අදාල පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 31 වනදා කැඳවීමටද අධිකරණය දින නියම කළේය.


පෙත්සම්කාර කාදිනල් හිමිපාණෝ කියා සිටින්නේ වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු කෲර වද හිංසාවට ලක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කළ බවයි. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්ධු තෙන්නකෝන් ට නියම කළ බවත් උන් වහන්සේ පෙන්වා දෙති. ඊට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසම විසින්ද දේශබන්ධු තෙන්නකෝන් ට එරෙහිව නිර්දේශ නිකුත් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.


ඊට අමතරව ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට එලල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ද දේශබන්දු තෙන්නකෝන් ට චෝදනා එල්ල වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

මෙම තත්ත්වය හමුවේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කරනු ලැබුවොත් නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස අභියෝගයට ලක්විය හැකි බැවින් ඔහු එම තනතුරට පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර කාදිනල් හිමිපාණෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිති.

(aruna.lk - කේ.එස්.උදයකුමාර)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්