බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන තවත් දෙදෙනෙකු

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පවසා ඇත්තේ, විදෙස්ගත ව සැඟ ව සිටින ඌරගහ මයිකල් නැමැති අපරාධකරුගේ උපදෙස් මත තංගල්ල අධිකරණය අසල දී ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ බවයි.

බෙලිඅත්තේ දී සිදු වූ පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන දෙදෙනෙකු ගාල්ල, මාගාල්ල ප්‍රදේශයේ දී හා ගාල්ල, වංචාවල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක අංක එක මගින් ඊයේ (25) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සිදු කළ විමර්ශනයක දී ය.

සැකකරුවන් අවුරුදු 25 සහ 35 යන වයස්වල පසු වන අතර, ඔවුන් හෙරොයින් ජාවාරම්කරුවන් බව වාර්තා වේ.

ඔවුන් සතු ව තිබී හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 300ක්, යතුරුපැදියක්, ජංගම දුරකතන 03ක් සහ උල්පිහියක් ද සොයාගෙන තිබේ.

කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන අපරාධ කල්ලි සාමාජික ඌරගහ මයිකල් නැමැත්තාගේ උපදෙස් මත රෝයල් බීච් සමන් ඇතුළු පිරිස ඝාතනයට සැලසුම් කළ බව සැකකරුවන් පවසා ඇති බව වාර්තා වේ.

ඌරගහ මයිකල් නැමැත්තා ඩුබායිහි සිට තමන් අමතා වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් හෝ යතුරුපැදියක් සොයාගන්නා ලෙස පවසා, ඝාතනය සිදු වූ දින තංගල්ල අධිකරණය අසලට යන ලෙස උපදෙස් ලබාදුන් බවත් සැකකරුවන් හෙළි කර තිබේ.

නමුත් තමන් දෙදෙනාට මෝටර් රථයක් සොයාගැනීමට නොහැකි වීම නිසා, යතුරුපැදියකින් තංගල්ල අධිකරණය අසලට ගොස් සිටි බව සැකකරුවන් පැවසූ බව විමර්ශන නිලධාරිහු පවසති.

ඝාතනයට ලක් වූවන් එදින අධිකරණයට පැමිණෙන වේලාව හා පිට ව යන වේලාව බලා හිඳ ඝාතකයන්ට ඔත්තු සැපයීම ඔවුන්ට පවරා තිබූ බවට සැකකරුවන් පැවසූවේ යැයි විමර්ශකයෝ සඳහන් කරති.

රෝයල් බීච් සමන් තංගල්ල අධිකරණයෙන් පිටතට පැමිණි පසු ඝාතනය කිරීමට සූදානම් කර තිබූ බවත් සැකකරුවන් පවසා තිබේ.

එම ඔත්තුව වෙනුවෙන්, තමන්ට අලෙවි කර ගැනීම සඳහා ඌරගහ මයිකල් හෙරොයින් ලබාදුන් බව සැකකරුවන් හෙළි කළ බව විමර්ශකයෝ සඳහන් කරති.

එමෙන්ම සැකකරුවන් පවසා ඇත්තේ, රෝයල් බීච් සමන් ඝාතනය කිරීම සඳහා ඌරගහ මයිකල් නැමැත්තාට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ කොස්ගොඩ සුජී බවයි.

මේ අතර, අදාළ සිද්ධියට සැකපිට මින් පෙර අත්අඩංගුවට ගත් සමන් කුමාර නැමැත්තා දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 27 වැනි දා තෙක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබේ.

(adaderana.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්