වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත් කිරීම අභියෝගයට ලක්කරමින්

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව තිබෙන තත්ත්වය තුළ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය අනියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරනු ලබන තර්ජනයක් සේ සැලකිය හැකි බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම ප්‍රකාශ කරයි.


පෙබරවාරි 1 වැනිදා උදේ නිකුත් කළ ජනාධිපතිවරයාගේ එම නිවේදනයේ සඳහන් වන, ‛ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත. යන්න උපුටා දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම ප්‍රකාශ කරන්නේ මෙමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑමක් සිදු කරන බවයි. ඒ අනුව මෙම මාධ්‍ය නිවේදනයට කිසිදු නීත්‍යනුකූල භාවයක් නැතැයිද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


ජනාධිපතිවරයා රාජ්‍යයේ ඉහළ තනතුරකට පුද්ගලයෙකු පත් කිරීමේදී ව්‍යවස්ථාවට අනුකූලව ද නිරවද්‍යවද තුලන සහ සංවරණ ක්‍රියාවලිය තුළ එය සිදු කළ යුතු බවත් ඊට අමතරව තවත් බොහෝ කාරණා සලකා බැලිය යුතු බවත් ප්‍රකාශ කරන ඒ මහතා මෙම ප්‍රකාශය මගින් කියන්නේ අපි කරන පත්වීම් වලට අත තියන එන්න එපා යන්න යැයිද ප්‍රකාශ කරයි.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් ඉදිරිපත් වී ඇති බවද එම පෙත්සම් විභාගයට අනියමාර්ථයෙන් බලපෑම් කිරීමේ අරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර ඇතැයි හැඟී යන බව නිර්නාමිකව පෙනී සිටීමට කැමති ජනාධිපති නීතිඥවරයෙක් ප්‍රකාශ කළේය.


ජනාධිපතිවරයාගේ එම නිවේදනය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගෙන් කළ විමසීමේදී ඔහු කීවේ මෙවැන්නකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ විශේෂ ආයතනයක්. පාර්ලිමේන්තුවේ සම්බන්ධතාවකුත් එයට තිබෙනවා. නමුත් එය පාර්ලිමේන්තුවේ කොටසක් නොවෙයි. ස්වාධීන කොමිෂන් සභා සඳහා පුද්ගලයන් නම් නිර්දේශ කිරීම, ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්, නීතිපති, පොලිස්පති වැනි රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා එවනු ලබන නම් අනුමත කරනවාද නැද්ද යන්න තීරණය කිරීම වැනි කාර්යයන් තමයි එහි සිද්ධ වෙන්නේ.


 මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සීමාසහිතව විධායකයේ කාර්යන් කරනවා සහ එම විධායක ක්‍රියාවලිය තුළ පවතිනවා. එහෙත් විධායකයට යටත් වන්නේ නැහැ. එහෙම බැලුවාම ඒක ස්වාධීන ආයතනයක් විය යුතුයි. ඉහළ මට්ටමේ පත් කිරීම් සඳහා ස්වාධීනත්වයක් සහ ජාතික එකඟතාවක් ඇති කරගැනීම තමයි මේ ආයතනයේ ප්‍රධාන කාර්යභාරය. මේ තත්ත්වය තුළ මෙම ආයතනයට ස්වාධීනව වැඩ කරන්න ඉඩ දෙන්න ඕනෑ. නමුත් ජනාධිපතිවරයා විසින් කරනු ලබන මෙවැනි ප්‍රකාශ එම ස්වාධීනත්වයට තදින් බලපානවා.'

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙබරවාරි 01 දින මදුරාපුර අසාෆා මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් පවසා ඇත්තේ, විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට හෝ විවිධ ප්‍රකාශ සිදුකර අධිකරණයට බලපෑම් සිදු කළ නොහැකි බවත් අධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරිමේ  බලය තිබෙන බවත්, ඒ සඳහා උපරිම සහාය ලබාදෙන බවත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සමස්ත අධිකරණයට එල්ල වන සියලු බලපෑම් පරාජය කිරීමට සමගි ජන බලවේගය පෙනී සිටින බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ හෝ වෙනත් ආයතනයක බලපෑම්වලට යටත් නොවන බවත් ඔහු වැඩි දුරටත් පවසා ඇත.

(anidda.lk -කේ සංජීව/ ලසන්ත රුහුණගේ)

සබැඳි පුවත් :

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්