ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සහ ජාතික ජනබල වේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී

අනුර කුමාර දිසානායක ඉන්දීය සංචාරයක් සඳහා අද (පෙබරවාරි මස 05 වෙනිදා) අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

ඔහු සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු තිදෙනෙකු දින 05ක සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

ජාතික ජනබල වේගයේ නායක (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචාරයක් සඳහා එක්ව සිටින්නේ ඉන්දීය රජයෙන් කරනු ලැබූ විශේෂ ආරාධනයකට අනුවයි.

 

ඉන්දීය විදේශ ඇමති සහ අනුර දිසානායක අතර හමුවක්

අද ( පෙබරවාරි 05 වෙනිදා) නව දිල්ලිය බලා පැමිණි ජාතික ජනබල වේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් අතර හමුවක් ද සිදුව තිබේ.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමේ සඳහනක් තබමින් පවසා සිටියේ ද්විපාර්ශවික සම්බන්ධතා පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කරගත් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ජා කළ බවත් අසල්වැසියාට ප්‍රමුඛස්ථානය සහ සාගර කලාපයේ ඉන්දියාවේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා වන ඉන්දියානු සාගර කලාපයට ප්‍රමුඛත්වය දෙන සමුද්‍ර මුලපිරීම යන තේමාව යටතේ ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ මුම්බායි හිදී පැවති වැඩසටහනකදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ඉන්දියානු පුරවැසියන්ට සංචාරය කිරීමට අදහස් කරන්නේ නම් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට යන්නයි ඉල්ලීමක් ද කර සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු දක්නට ලැබිණි.

xdee
'අපි ඡන්දේ දුන්නට රටේ නායකයා තෝරන්නේ පිට ඉන්න අයයි'

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට නිල සංචාරයක් සඳහා ඉන්දියාවෙන් සිදුකළ ආරාධනාව 'දේශපාලනික' වශයෙන් වැදගත් වන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ අංශාධිපති, ආචාර්ය ප්‍රදීප් පීරිස් ගෙන් කරුණු විමසීමක් සිදු කරන ලදී.

එහිදී අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අංශාධිපති, ආචාර්ය ප්‍රදීප් පීරිස් බීබීසී සිංහල සේවයට පැවසුවේ 'ජනතාව ඡන්දය දුන් නමුත් ශ්‍රී ලංකාවේ නායකත්වය තෝරන්නේ රටින් පිට සිටින අය' බවයි.

"ලංකාවේ අනාගතයේදී කවදාවත් නායකත්වයට එන්න ලැබෙන්නේ නෑ රටේ වටේ තියෙන්නා වූ අප කියන භූ දේශපාලන කඳවුරු සමග යම් විදිහේ සන්ධානයකට එන්නේ නැතුව."

"ලංකාවේ අපි ඡන්දය දුන්නට ඇත්තටම ලංකාවේ ‍ඡන්දය තෝරන්නේ බොහෝ විට ලංකාවෙන් පිට කට්ටිය."

බොහෝ විට මේ වෙලාවේ අනුර කුමාර දිසානායක හෝ ජාතික ජනබල වේගය පක්ෂය රටේ නායකත්වයට එන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම ලෝකයේ බලවත් රටවල් අතර යම් අවබෝධයක් සහ යම් විදිහේ තේරුම් ගැනීමක් තබා ගැනීමට අවශ්‍යයි. "

"එහෙම නැත්නම් ලංකාවේ ප්‍රධාන පක්ෂයක් ඇරෙන්න බලයට එන්න ලැබෙන්නේ නැහැ."

"මම දකින විදිහට අනුර කුමාර මන්ත්‍රීවරයාත් ඒ සංචාරය යන්න ඇත්තේ සහ ඉන්දියාවත් ආරාධනා කරන්න ඇත්තේ ඒ නිසයි."

"වර්තමානයේ කවදාටත් වඩා දකුණු චීනයේ සහ දකුණු ආසියාවේ භූ දේශපාලනය තීව්‍ර වෙමින් පවතිනවා. "

"ඒකට හේතුව තමයි තනි බලවතා වෙනුවට බලවතුන් සමුහයක් කියන සංකල්පයට ලෝකය තල්ලු වෙමින් යනවා. "

"මෙහිදී ඉන්දියාව, චීනය සහ අමෙරිකාව යන රටවල් කැමති මේ කලාපය ඇතුලේ තමන්ගේ බලය තියාගෙන ඉන්න. ඒ නිසා ඒ අයටත් අවශ්‍යයි ඉදිරියේ බලයට එන්න ඉන්න පුද්ගලයෙක් තමන්ගේ ව්‍යාපෘතිය තුළ කොයි විදිහටද ඉන්නේ කියලා දැන ගන්න."

"ඒ නිසයි ඔහුව ගෙන්න ගන්න ඇත්තේ. ඒකෙ පොඩි සාධනීය ගතියක් තියෙනවා." ආචාර්ය ප්‍රදීප් පීරිස් කියා සිටියේය.

මෙහිදී ආචාර්ය ප්‍රදීප් පීරිස් වැඩිදුරටත් කියා සිටියේ 'කලාපයේ බලවතුන් විසින් තමන්ට අවිශ්වාස කණ්ඩායම් බලයට පැමිණීම වැළැක්වීම හෝ එවැනි කණ්ඩායමක් රටේ බලයට පැමිණෙනවා යැයි කියා සිතුනොත් ඔවුන් සමග යම් අවබෝධතාවයකට පැමිණීමට' කටයුතු කරන බවයි.

මේ වන විට සිදුවන්නේ මින් දෙවැනි කරුණ බව ද ආචාර්ය ප්‍රදීප් පීරිස් පැවසුවේය.

එමෙන්ම වර්තමාන ජාතික ජනතා බලවේගය (NPP) දෙස බලන කළ 'එය තනිකරම සමාජවාදී දේශපාලනයෙන් බැහැරව රටේ බලය ලබා ගැනීම සඳහා සමාජ ප්‍රජාතන්තවාදී දේශපාලන ගමනක නිරතවෙමින් සිටින බව' ද ඔහු කියා සිටියේය.

ඉන්දියාවේ මාධ්‍ය කියන්නේ කුමක්ද?

ඉන්දියාවේ 'ද හින්දු' වෙබ් අඩවිය මේ පිළිබඳව වාර්තා කරමින් කියා සිටියේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය දේශපාලන පක්ෂයක් වන ජාතික ජනබල වේගය පක්ෂයේ නායකත්වයට ඉන්දීය රජයෙන් නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කිරීම සැලකිය යුතු කරුණක් බවයි.

ජාතික ජනබල වේගය පක්ෂයේ නායකයා ඇතුළු දුත පිරිස ඉන්දියාවේ නව දිල්ලි අගනුවර, අහමදාබාද් සහ තිරුවනන්තපුරම් හි සංචාරය කිරීමට නියමිත බවත් එහිදී රාජ්‍ය නිලධාරින්, ව්‍යාපාරික ප්‍රජාවන් මුණගැසීමට අමතරව කෘෂි හා කාර්මික මධ්‍යස්ථාන නැරඹීමට නියමිත බව 'ද හින්දු' වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

අනුරගේ ඉන්දීය සංචාරය ගැන සමාජ මාධ්‍යයේ පළවන අදහස්

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය තුළ මිශ්‍ර ප්‍රතිචාර පළව තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සජින් වාස් ගුණවර්ධන සිය X ගිණුමේ මෙසේ සඳහන් කර තිබුණි.

X vass
මෙම හමුවීම ඉතා හොඳ පියවරක් බවත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සකස් කරන ලද ඉන්දු පැසිෆික් ප්‍රතිපත්තිය ඇතුළු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වන දැක්ම පිලිබඳ වූ ප්‍රකාශය සඳහා ජනතා විමුක්ති පෙරමුණ දැන් සහාය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, එය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට සුබ පැතුම් ද එහි එක් කොට තිබුණි.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරගේ X පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් එක පරිශිලකයෙකු කියා තිබුණේ මෙරට තුළ ව්‍යාපෘති සිදුකිරීම සඳහා අදානි සමාගමට කිසිදු ගැටලුවකින් තොරව ඒමට හැකි බවත්, ජනතා විමුක්ති පෙරමුණ කිසිදු විරෝධයක් මින් ඉදිරියට නොදක්වනු ඇති බවත් ය.

(BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්