මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ පරීක්ෂණ සඳහා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට “බහුබූත දොඩවන්න එපා” යැයි පවසමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් නඩු විභාගය පැවැත්වෙද්දී අපහාස කොට තිබේ.


ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ එස් රත්නවේල් විසින් අධිකරණ සම්ප්‍රදාය රකින ලෙස කළ ඉල්ලීමක් හෙලා දකිමින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙසේ අපහාසාත්මක ලෙස හැසිරී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ චමින්ද වික්‍රම නමැති රජයේ නීතිඥයායි.

රජයේ නීතිඥවරයාගේ හැසිරීම කලහකාරී සහ ඒකාධිපති එකක් ලෙසින් හෙලා දකින මන්නාරම නීතිඥ සංගමයේ සාමාජිකයෝ නඩු විභාගය පවත්වන මහේස්ත්‍රාත් මානික්කවාසගර් ගනේෂරාජා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර සිටීම සම්බන්ධයෙන් විමතිය පල කර සිටිති.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුගේ නෛතික කරුණු දැක්වීමට එරෙහිව නීතිපති නියෝජිතයා අපහාස කිරීම ගැන විරෝධය පළකරමින් එදින නඩු කටයුතුවලට සහභාගිව සිටි මන්නාරම නීතිඥ සංගමයේ සියළු නීතිඥවරුන් අධිකරණ පරිශ්‍රයෙන් ඉවතට ගොස් තිබේ.

සීමාව ඉක්මවා යාම:

පසුගිය 11 වනදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩු කටයුත්තක් සඳහා පැමිණ සිටි වෙනත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් කියා සිටියේ රජයේ නීතිඥවරයා ඔහු වෙත පැවරි තිබුණු බලතල සහ කාර්ය සීමාව ඉක්මවමින් නීතිපති දෙපාර්තමේන්තුවේ බලය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ බව ය.

නීතිඥ කේ එස් රත්නවේල්
attorney k s ratnavel
 "ඔහු හැසිරුනේ ඒකාධිපතියෙක් වගේ. අගතියටපත් පාර්ශවයට කරුණු දක්වන්න කිසිම ඉඩක් දෙන්න ඔහු කැමති වුණේ නෑ. රත්නවේල් නීතිඥ මහත්මයාගේ කණිෂ්ඨ නීතිඥවරුන් මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලා හිටියා තමන්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මුලතිවු අධිකරණයේ වෙනත් අත්‍යාවශ්‍ය නඩුවකට පෙනී සිටින බැවින් ඔහු එනතෙක් පෙරවරු 11 දක්වා නඩුව කල් තබන ලෙස. 

එහෙම ඉල්ලිමක් කරන එකයි, කරුණු සලකලා බලලා ඒ ඉල්ලීමට ඉඩ දෙන එකයි ඉතාම සාමාන්‍ය දෙයක්. නමුත් අපි දැක්කා ඒ ඉල්ලීම කෙරුවට පස්සේ රජයේ නීතිඥවරයා එයට විරෝධය පාමින් හැසිරුණු විදිය."

උසාවියේ අගුල් කඩලා:

කෙසේ වෙතත් ජේෂඨ නීතිඥ කේ එස් රත්නවේල්ගේ සහභාගීත්වයකින් තොරව මහේස්ත්‍රාත්වරයා සහ රජයේ නීතිඥ චමින්ද වික්‍රම කැණීම්වලින් ගොඩගත් අස්ථි කොටස් තැන්පත් කොට තිබෙන කුටිය නිරික්ෂණය කිරීමට ගොස් ඇති අතර, එහිදී දැක ගන්නට ලැබී තිබෙන්නේ එහි දොරගුළු කඩා විවෘත කිරීමට උත්සාහ දරා ඇති බව ය. 

පසුව වැඩිදුරටත් සොයා බැලීමේදි එම කුටියේ පිටුපස ජනේල පියන් කඩා ඇති බව ද මහේස්ත්‍රාත්වරයා ඇතුළු පිරිස දැක තිබේ.

මෙහිදී නීතිඥ රත්නවේල් ගේ කණිෂ්ඨ නීතිඥවරුන්ගේ ඉල්ලීම මත පොලිස් ස්ථානීය අපරාධ පරික්ෂකවරුන් (SOCO) කැඳවා තිබුණ ද ඔවුන් විසින් ස්ථානීය පරික්ෂණය පවත්වා තිබෙන්නේ අධිකරණ නිලධාරියකුගේ සහභාගිත්වයකින් තොරව ය. 

මෙම දොරගුළු කැඩීම සිදුව තිබෙන්නේ අධිකරණ පරිශ්‍රයේ බැවින් අධිකරණ නිලධාරියකු ඉදිරියේ පරීක්ෂණ පැවැත්වීම අත්‍යාවශ්‍ය වන බව ජේඩීඑස් වෙත අදහස් දැක්වු ඉහත කී නීතිඥවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

'බහුබූත කතා'

පෙබරවාරි 11 වන දින නඩුව නැවත ආරම්භ කෙරුණු විට දොරගුළු සහ ජනෙල් පියන් කැඩීම පිළිබඳව පරික්ෂණ පවත්වන ලද පොලිස් නිලධාරියා කැඳවා සාක්ෂි විමසා ඇත්තේ අධිකරණ සම්ප්‍රදාය අනුගමනය කොට සාක්ෂි කූඩුවට නැංවීමකින් තොරව ය. 

එම ක්‍රමවේදය නීත්‍යානුකුල නොවන බවට විරෝධය දැක්වූ නීතිඥ රත්නවේල් විසින් නිසියාකාර සාක්ෂි විමසන ලෙස කරන ලද ඉල්ලීමට හරස්වෙමින් රජයේ නීතිඥ චමින්ද වික්‍රම බැනවැදී ඇත්තේ “බහුබුත දොඩවන්න එපා” යැයි පවසමිනි.

මේ පිළිබඳව විමසීමේදි ජේෂ්ඨ නීතිඥ කේ එස් රත්නවේල් ජේඩීඑස් හා පවසා ඇත්තේ, රජයේ නීතිඥවරයා විසින් කටයුතු කරන ලද්දේ අපරාධ පරීක්ෂණයකට අදාළ සාක්ෂි විමසන පිළිවෙතට පටහැනිව, “ආවාට ගියාට කරුණු විමසන” ආකාරයෙන් බව ය.

"සමූහ මිනීවළක අස්ථි තිබුණු කාමරයක දොරගුළු කඩන්න උත්සාහ දරපු එක සාමාන්‍ය දෙයක්ද? ඒක අපරාධ ක්‍රියාවක්. ඒ ගැන පරීක්ෂණ පවත්වපු පොලිස් නිලධාරියා අධිකරණය ඉස්සරහට ගෙනල්ලා නිකන් පැත්තක හිටවලා නිකන් කරන කතා බහක් ආකාරයටයි රජයේ නීතිඥවරයා කරුණු විමසුවේ. 

ඒ වෙලාවේ මම මහේස්ත්‍රාත්තුමාගේ අවධානයට ලක්කළා මෙහෙම සාක්ෂි විමසන සම්ප්‍රදායක් නැති බවත්, ඒ නිලධාරියා සාක්ෂි කූඩුවට නංවලා නිසි පරිදි දිවුරුම් ගෙන සාක්ෂියක් ගත යුතු බවත්. ඒක කරන්න ඕනේ සාක්ෂි ආඥා පනතට අනුවයි. එහෙම කරන්න ඕනේ කියලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපු ජ්‍යෙෂ්ඨ නීතිඥතුමා නොදන්නවා නෙමෙයි. 

නමුත් ඔහුට අවශ්‍ය වුණේ මේ නඩුවට පාර්ශව කරුවන් හැටියට ඉදිරිපත් වෙලා ඉන්න මන්නාරම අතුරුදහන්වුවන්ගේ පවුල්වල අය මේ නඩුවෙන් ඉවත් කරලා දාන්නැ"යි නීතිඥ රත්නවේල් කීය.

අතුරුදහන්වුවන් 435 ගේ ලේඛණයක්:

මන්නාරම සමුහ මිනිවළ වසර 300ට වඩා වැඩි බව මේ වන විට කාල නීර්ණ වාර්තා මඟින් සනාථ වී ඇතැයි කරුණු දක්වන රජයේ නීතිඥවරයා පවසා ඇත්තේ, මන්නාරම අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාතීන්ට සමූහ මිනිවළ සම්බන්ධයෙන් මැදිහත් වන්නට කිසිදු අයිතියක් නැති බව ය.

එය පදනම් විරහිත කතාවක් ලෙසින් නීතිඥ රත්නවේල් ප්‍රතික්ෂේප කරයි.

"මන්නාරම සමුහ මිනීවළේ විමර්ශන තවම අවසන් නෑ. බීටා ඇනලිටික් වාර්තාව මේක ගැන තීන්දු ගන්න අවසන් වාර්තාව නෙමෙයි. තව විශේෂඥ වාර්තා පහක් ඉදිරිපත් වෙන්න තියෙනවා. අනෙක පහුගිය කාලේ මන්නාරමින් අතුරුදහන් පුද්ගලයන් 435 දෙනෙකුගේ තොරතුරු අපි බලධාරීන්ට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම තියෙද්දි රජයේ නීතිඥවරයට අයිතියක් නෑ මේ නඩුවට කවුද පාර්ශවකරුවන් වෙන්නේ කියලා තීරණය කරන්න."
අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වය වැලැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා උත්සාහයට මහේස්ත්‍රාත් ගනේෂරාජා හරස් නොවීම මන්නාරමේ නීතිඥවරුන්ගේ කුතුහලයට හේතුවී තිබේ.

විශේෂයෙන්ම රජයේ නීතිඥවරයා විසින් සිය සිංහල භාෂාවෙන් පමණක් කරන විට, ඒ පවසන සියල්ල තේරෙන ආකාරයෙන් හිස සලමින් මහේස්ත්‍රාත්වරයා හැසිරුණු ආකාරය නඩුවේ ඉදිරි කටයුතුවලට දැඩිව බලපානු ඇති බවට එම නීතිඥවරු අනතුරු අඟවති.

(කිත්සිරි විජේසිංහ විසිනි -උපුටා ගැනීම :jdslanka.org)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්