මැතිවරණ අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල මුල් ඡන්ද සලකුණු වෙනස්වීම මෑත කාලීන දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී බොහෝ විට දක්නට ලැබෙන්නකි.

සිය ඡන්ද සලකුණ ලෙස 'අත' භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ගණනාවකදී 'පුටුව', 'බුලත් කොළය' යටතේ තරග කළ අතර මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද සලකුණ වන 'පොහොට්ටුව' යටතේ තරග කිරීමට නියමිතය.

  එක්සත් ජාතික පක්ෂය 2005 වසරෙන් පසුව ජනාධිපතිවරණ සඳහා 'අලියා' ඡන්ද සලකුණ යටතේ තරග නොකළ ද, මහ මැතිවරණ සියල්ල සඳහා ඉදිරිපත් වූයේ, 'අලියා' සලකුණ යටතේය.

එහෙත්, එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේදී සිය ඡන්ද සලකුණ ලෙස 'අලියා' යොදා ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

ඒ, ඔවුන් සමගි ජන බලවේගය නමින් පුළුල් සන්ධානයකින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති හෙයිනි. එසේ වුවහොත්, එක්සත් ජාතික පක්ෂය සහ 'අලියා' ඡන්ද ලකුණ ද මෙවර ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවනු ඇත.

හදවත හංසයා වෙයි : හංසයා බැරිවුනොත් දුරකතනයෙන් ම !

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ 'සමගි ජන බලවේගය' මෙවර මහ මැතිවරණයේදී 'හදවත' සලකුණ යටතේ තරග කරන බව පැවසුව ද, සලකුණේ අයිතිය සම්බන්ධයෙන් පැන නැගුණු විරෝධතා හේතුවෙන් පසුව එය අත්හැරීමට සිදු විය. 'සමගි ජන බලවේගය' පක්ෂයේ ලාංඡනය ලෙස මේවනවිටත් මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් නිල වශයෙන් පිළිගෙන ඇත්තේ 'දුරකතනය'යි. 

සඳුදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක දැක්වූ අදහස්වලින් පැහැදිලි වූයේ ද ඡන්ද සලකුණ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

Gayantha"ලාංඡනය කුමක් ද කියන එකටයි උත්තර හොයන්න ඕන. පෙර පරිදි ම විවිධ මත අපි ඉදිරියෙන් තියෙනව. එක කණ්ඩායමක් කියනව, මේ ලාංඡනය හොඳයි, තව කණ්ඩායමක් කියනව, මේ ලාංඡනය හොඳයි. අවසානයේ බහුතරයේ කැමැත්ත අනුව නීත්‍යනුකූලව, බාධාවකින් තොරව ඉදිරිපත් කළ හැකි ලාංඡනය තෝරාගෙන අපි ඒ ප්‍රශ්නයත් නිරාකරණය කර ගන්නව," යනුවෙන් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් 'සමගි ජන බලවේගයේ' මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ, "ඉදිරි මහ මැතිවරණයේදී 'හංසයා' ලකුණ යටතේ තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇති," බවය.

"දැනට අපි එකඟ වෙලා තියෙනවා හංසයා යටතේ තරග කරන්න. මහ මැතිවරණය කැදෙව්වට පස්සෙ තමයි සලකුණ මාරු කරන්න පුළුවන්. ඒක ගැන ස්ථිර තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා."

"සලකුණක් වෙනුවෙන් සිඟමනේ නොයා යුතුයි" - වජිර අබේවර්ධන 

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඉරිදා ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මහ මැතිවරණයේදී අලියා ලකුණ යටතේ තරග කළ යුතු බවය.Vajira

"මේ රටේ ප්‍රධාන සන්ධාන හදපු දේශපාලන පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ කිසි ම කෙනෙක් සලකුණක් සඳහා හිඟමනේ නොයා යුතුයි. ඉතාම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ සලකුණ හැටියට අලියා තිබෙනවා. ඒ නිසා නාම යෝජනා භාර දීල දින කීපයකින් තුණ්ඩු ඇදල ලකුණක් හොයන්න තරම් බංකොලොත් දේශපාලන පක්ෂයක් නෙවේ එක්සත් ජාතික පක්ෂය," වජිර අබේවර්ධන පැවසීය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසුවේ, "සමගි ජන බලවේගය නියෝජනය කරන අනෙකුත් පක්ෂවල ඉල්ලීම අනුව අලියා සලකුණ හැර වෙනත් සලකුණකින් තරග කිරීමට සිදුව ඇති," බවය.

මේ අතර, ඡන්ද සලකුණ සම්බන්ධ ප්‍රශ්නය මෙම සතියේදී විසඳා ගැනීමට සියලු පාර්ශව ක්‍රියා කළ යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබිණි.


87171878 2865518476817518 2075462097327620096 n                                                                                           අලියාගේ සිට හංසයා කරා...
1946 සැප්තැම්බර් මස 06 වන දින බිහි වූ එක්සත් ජාතික පක්ෂය, 1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළේය.

එතැන් පටන් පැවති මහ මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය තරග කළේ අලියා ලකුණ යටතේය.

කෙසේ වෙතත්, 2010 වසරේ සිට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණවලදී අලියා ලකුණ යටතේ තරග නොකළ අතර 2019 නොවැම්බර් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ, වසර 15කට පසුවය.

2015 වසරේ ජනාධිපතිවරණය 'හංසයා' ලකුණ යටතේ ඉදිරිපත් වී ජය ගත්ත ද, එම වසරේ පැවති මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් වූයේ, අලියා ලකුණ යටතේය.

යම් හෙයකින් මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය 'අලියා' ලකුණ වෙනුවට වෙනත් ලකුණකින් ඉදිරිපත් වුවහොත් එය මහ මැතිවරණයක් සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනත් ලකුණකින් ඉදිරිපත් වන පළමු අවස්ථාව වනු ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

සංකේත මාරු කිරීම වාසි ද? අවාසි ද?

Vishaka 12ප්‍රධාන දේශපාලන පක්ෂ සිය සංකේත වෙනුවට වෙනත් සංකේත භාවිත කරමින් මැතිවරණවලට තරග කිරීම මගින් එම පක්ෂවලට වාසියක් සිදුවේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාරගෙන් අදහස් විමසීය.

ඇය ප්‍රකාශ කළේ, ප්‍රධාන පක්ෂයක සංකේතය වෙනුවට වෙනත් සංකේතයක් භාවිත කරමින් මැතිවරණවලට ඉදිරිපත් වීමෙන් අදාළ පක්ෂයේ අනන්‍යතාවට හානියක් සිදුවන බවය.‍

"පක්ෂවල සංකේත සමග ශ්‍රී ලංකාවේ ජනතාව මානසිකව බැඳී සිටිනවා. ඒ සංකේත අදාළ පක්ෂ පිළිබඳ ප්‍රතිරූපයක් ජන මනස තුළ නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ඒ සංකේත අදාළ පක්ෂවල අනන්‍යතාව සමග බැඳී තියෙනවා. අලුත් සංකේත භාවිත කළොත් පක්ෂයේ අනන්‍යතාවට හානි වෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1994 ඉඳලා ඒගොල්ලො 'අත' වෙනුවට 'පුටුව', 'බුලත් කොළය' වගේ වෙනත් සංකේත පාවිච්චි කළා. අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරිහානියට පත්වෙලා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන තත්ත්වයට පත්වුණා," ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නාය.
 
''මම දකින විදිහට 'හංසයා' ලකුණ අසමත්," 
 

එක්සත් ජාතික පක්ෂය 'අලියා' සලකුණ අතහැර තරග කිරීම සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ඇය, "එක්සත් ජාතික පක්ෂය පළවෙනි වතාවට තමයි මහ මැතිවරණයකදී 'අලියා' ලකුණ අතහැරලා තරග කරන්න යන්නේ. මම දකින විදිහට 'හංසයා' ලකුණ අසමත්," යනුවෙන් කියා සිටියාය.

"අලියා වෙනුවට හංසයා ලකුණ යෙදීමෙන් පක්ෂයේ අනන්‍යතාව තහවුරු වෙන්නේ නෑ. අලියා ලකුණින් එක්සත් ජාතික පක්ෂයට ලැබුණු දැවැන්ත ප්‍රතිරූපය ගොඩ නගන්න 'හංසයා' ලකුණට බැහැ. ඒකයි මගේ අදහස."

(උපුටා ගැනීම් :කුමුදු ජයවර්ධන - BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්