හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර අද (20) දිනයේ එම ධුරයෙන් ඉවත් වී ඇත.


සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගෝඨාභය රාජපක්‍ෂ වෙත යොමුකරමින් ඔහු පවසන්නේ, ''අවරට යන රට පෙරට රැගෙන යන්නට ජනතාව ඔබට වරම දෙද්දී ඔබතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස මා පත් කරගැනීම වෙනුවෙන් ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වන බවයි.''

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

''සැලසුම් බොහොමයක් මනස තුළ තැන්පත් කර ගනිමින් ලක් මාතාවගේ දරුවන් සතුටින් තබන්නට ඔබගත් උත්සහයන් සුළු පටු නැත. එහෙත් විවිධ වූ බලවේග සහ බාධක හේතුවෙන් සිතැඟි සැලසුම් ක්‍රියාත්මක කිරීම අසීරු වූ බවද නොරහසකි. නොසිතූ මොහොතක විවිධ මෙහෙයවීම් මත ජනයා එක් රැස් වෙද්දී ඔබට ජනපති අණින් ගිනි අවි ක්‍රියාත්මක කරවීමේ පිළිවෙත සිහිපත් වූයේ නැත. ඒ වෙනුවට ඔබ කළේ අඩියක් පසු පසට ගෙන බලය අතහැර ජනතාවගේ අභිමතයට ඉඩදී නික්ම යාමයි. එදා ඒ තරුණකැල නොසන්සුන් මනසෙන් ඔබතුමා හෙළා දැක්කද, අද ඔබ පියෙකු සේ ඔවුනට හිරිහැර නොකර නික්මයෑම අතිශයින් අගය කරන බව මගේ පෞද්ගලික්‍ මතයයි. ඒ පිලිබදව මා තුල ඇත්තේ දැඩි ගෞරවයකි.

 

මාගේ එකම අරමුණ මගේ මව්බිමත් එහි වෙසෙන සහෝදර ජනතාවත් වෙනුවෙන් සේවය කිරීමය. ඒ සඳහා මා අදහන දේශපාලන දහම අනුව අපරාජිත රටක් බිහි කිරීම වෙනුවෙන් නව දේශපාලන  වැඩපිළිවෙලක් සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කළෙමි. මා දකින ආකාරයට අප හමුවේ තිබෙන පළමු වගකීම අපේ මව්බිම යළි අපරාජිතව අභිමානයෙන් ගොඩනැගීමය. ඒ සඳහා එක්වන ඕනෑම කණ්ඩායමක් සමග වැඩ කිරීමට මා පැකිලෙන්නේ නැත.

 

මා ඔබතුමා යටතේ සේවය කිරීමට ප්‍රිය වූවත්, නොවැළැක්විය හැකි කාරණා හේතුවෙන් සහ ඔබතුමන්ට දක්වන ගෞරවයක් ලෙසිනුත් මා ඔබතුමාගේ පෞද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළෙමි.

හිටපු ජනපතිතුමනි නිදුක් නිරෝගී සුව සහ සතුට  සැම විටම ඔබ සමඟ රැඳේවා.''

(උපුටා ගැනීම අවසන්)

ඉල්ලා අස්වීමේ ලිපිය page 0001
24 සෙනසුරාදා කොළඹ හයිඩ් පිටියේදී ජන රැළියක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවද ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල සුගීශ්වර බණ්ඩාර, මේ දක්වා ම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කර තිබු නිල කාර්යාලයේ සිට හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් රාජකාරී ඉටු කළේය. 

කෙසේවුවද නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම විසින් නව සන්ධානය පිහිටුවා ගැනීමත් සමග සුගීශ්වර බණ්ඩාර එම කණ්ඩායම සමග දේශපාලන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ වෙතින් ගෝඨාභය රාජපක්ෂ වෙත දැඩි බලපෑමක් එල්ලවී තිබිණ. ඒ ඔහුව වහාම පෞද්ගලික ලේකම් ධුරයෙන් නෙරපන ලෙසයි. 

ඒ අනුව පෞද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති සුගීශ්වර බණ්ඩාර, අද දිනයේ ලන්සා ප්‍රමුඛ නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක ධුරය බාරගෙන ඇතැයි වාර්තාවේ. නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රීක් නායකයා වන්නේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා යි.

සුසිල් ප්‍රේම්ජයන්ත හා සුගීශ්වර බණ්ඩාරගේ මුලිකත්වයෙන් 24 සෙනසුරාදා කොළඹ හයිඩ් පිටියේදී ජන රැළියක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා දස දහසකට වැඩි ජනතාවක් සහභාගිවන බව සුගීශ්වර පවසයි. 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්