එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය පෙබරවාරි මස 26 දා ජිනීවා නුවර දී ආරම්භ විය

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය පසුගියදා (පෙබරවාරි මස 26) ජිනීවා නුවර දී ආරම්භ විය.

මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අප්‍රේල් මස 05 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.

මෙම සැසිවාරයේ ආරම්භයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටොනියෝ ගුටේරස් සහ මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් දේශන සිදුකරන ලදී.

මානව හිමිකම් කඩවීමේ වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් සිහිකරමින් සැසිවාරය ආරම්භයේදී ඊට සහභාගී වූ සියලුම දෙනා මිනිත්තුවක කාලයක් නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන ලදී.

මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවෙන් චෝදනාවක්

 

António Guterres, United Nations Secretary-General, speaking at the Human Rights Council 55th Session, Palais des Nations, Geneva, Switzerland - 26 Feb 2024. UN Photo / Elma Okic


ගාසා තීරයේ ඇති වූ දරුණු මානුෂීය තත්ත්වයන්ට ඵලදායී ලෙස ආමන්ත්‍රණය කිරීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙත්වලින් වැළකී සිටීමේ වැදගත්කම ගැන අවධාරණය කිරීමට කැමති බවට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රී විසින් 55 වන මානව හිමිකම් සැසිවාරය අමතමින් පැවසුවේය.

පසුගිය පෙබරවාරි මස 27 වෙනිදා පෙර පටිගත කරන ලද වීඩියෝවක් මගින් මානව හිමිකම් කවුන්සිලය ඇමතු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමේදී අහිංසක සිවිල් වැසියන්ගේ දුක් වේදනා නොසලකා හැරීම සිදු නොකළ යුතු අතර ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සමනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වන බව යි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ද විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මානව හිමිකම් සැසිවාරයට මෙලෙස කරුණු වාර්තා කරන ලදී.

 img 1 4

 

"පසුගිය කාලයේ ඇතිවූ අභියෝග ජය ගැනීමේදී 2022 වසරේ පැතිර ගිය සමාජ විරෝධය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී, ආයතනික සහ ව්‍යවස්ථාමය රාමුව තුළ රට තුළ දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට ජනතාව සහ රජය වග බලා ගත් බව ප්‍රකාශ කරමි."

"ජාත්‍යන්තරය දන්නා පරිදි, පසුගිය වසර පුරා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්යය වූයේ ආර්ථික ප්‍රකෘතිය ඇති කර ගැනීමයි."

"එමෙන්ම ජාතික සමගිය සහ සංහිඳියාව ප්‍රධාන ප්‍රමුඛතාවයන් ලෙස රජය විසින් අඛණ්ඩව ගෙන ගියේය."

"ඉදිරියේ මුහුණ පෑමට ඇති අභියෝග සහ ජනතාව දිගින් දිගටම මුහුණ දෙන සමාජ ආර්ථික දුෂ්කරතා පිළිබඳව අපි ඉතා හොඳින් දනිමු"

"ඉලක්කගත සමාජ ආරක්ෂණ පියවරයන් සහ සහනාධාර ඇතුළුව, සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටියි." අමාත්‍යවරයා පැවසුවේය.




කොමසාරිස්වරයාගෙන් ශ්‍රී ලංකාව ගැන වාර්තාවක්


මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී කොලොම්බියාව, ගෝතමාලාව, හොන්ඩුරාස්, නිකරගුවාව, සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව යන රටවල මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන කිරීම් සිදුකරමින් මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක් විසින් සිය දේශනය සිදුකරන ලදී.

එහිදී ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික අර්බුදය, රජය විසින් ගෙන එන ලැබූ සහ ඉදිරියේදී ගෙන ඒමට නියමිත පනත්, උතුරු - නැගෙනහිර පළාතේ ඉඩම් ගැටළු සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරයා සිය අවධානය යොමු කරනු ලැබිය.

එමෙන්ම අතීත සහ වර්තමාන මානව හිමිකම් කඩවීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කිරීමට හා නඩු පැවරීමට විශ්වාසනීය වගවීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

2023 දී ප්‍රධාන වශයෙන් රටේ උතුරේ නැගෙනහිර පොලිසිය විසින් සිදු කළ බව කියනු ලබන ලිංගික ප්‍රචණ්ඩත්වය, පැහැරගැනීම්, නීතිවිරෝධී රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිළිබඳව තමා දැඩි අවධානයෙන් පසුවන බව මහ කොමසාරිස්වරයා පවසා සිටියේය.

 

සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් සඳහා රජය විසින් නීති කෙටුම්පතක් හඳුන්වා දුන්නද, විශ්වසනීය සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් සඳහා පරිසරයක් නොපවතින බව අවධාරණය කළ මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ සිවිල් සමාජ නියෝජිතයන්, ජනමාධ්‍යවේදීන් සහ වින්දිතයන් මෙන්ම යුද්ධයෙන් විපතට පත්වූවන් සැමරීමේ උත්සව සංවිධානය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ චෝදනා තම කාර්යාලයට දිගටම ලැබෙමින් පවතින බවයි.

මාර්ග ගත සුරක්ෂිතතාවය පිළිබඳ පනත, සංශෝධිත ත්‍රස්ත විරෝධී කෙටුම්පත, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත කෙටුම්පත ඇතුළු නව පනත් මගින් මහජතාවගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් සීමා කිරීමට රජය ප්‍රයත්න දරන අතරම මේ හරහා ආරක්ෂක අංශ වලට ඒවාට මැදිහත් වීමට මග සලසන බවටද මහ කොමසාරිස්වරයා අදහස් දක්වමින් පැවසීය.


2010 දී පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියකට සම්බන්ධ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෙළිදරව් කර තිබියදීත් නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගේ පත්කිරීම පසුගිය සතියේදී තහවුරු කිරීම පිළිබඳව සිය කනස්සල්ල පළකළ මහ කොමසාරිස්වරයා, මේ තත්ත්වය මත ආරක්ෂක අංශ තුළ වෙනස් කිරීමක් සිදුකළ යුතු බවටද කරුණු අවධාරණය කළේය.

චෝදනා වලට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු

 

55 HRC Oral Update 1
මෑත අතීතයේ අභියෝග ජය ගැනීම සඳහා, රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ආයතන සෑම විටම ස්ථාවරව පවතින බව සහතික කරන අතරම රටේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසන්ධාන අරමුණු සඳහා ප්‍රමුඛත්වය ලබා දුන් බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලී අරුණතිලක පැවසුවාය.

ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳව සංවේදී වීම, දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇති අභියෝගවල බලපෑම මැඩපැවැත්වීම සඳහා රජය විසින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කර ඇති බව ඇය එහිදී සඳහන් කළාය.

දැඩි බාධාවන් මධ්‍යයේ වුවද, ජාතික සමගිය, පශ්චාත්-ගැටුම් සංහිඳියාව සහ මානව හිමිකම් යන පදනම ශක්තිමත් කිරීම සඳහා වන අඛණ්ඩ ප්‍රයත්නයන් කඩිනම් කිරීම සඳහා රජයේ අරමුණු ස්ථීර සහ නොසැලී පවතින බවට සඳහන් කළ ඇය, දැනටමත් ස්ථාපිත දේශීය යාන්ත්‍රණ හරහා ප්‍රගතියක් කරා යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව එහිදී ඇය පැවසුවාය.

 

සත්‍යය, සංහිදියාව සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ උපදේශන රජය, සිවිල් සමාජය, ආගමික නායකයන් සහ නීති විශාරදයින්ගේ සහභාගීත්වයෙන් සිදුවෙමින් පවතින බවත්, පනත් කෙටුම්පත 2024 ජනවාරි 1 වන දින ගැසට් කරන ලද අතර, කෙටුම්පත පිළිබඳ මහජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කියා සිටියාය.


කොමිෂන් සභාව සඳහා අඩිතාලම දැමීම සඳහා අතුරු ලේකම් කාර්යාලයක් 2023 මැයි මාසයේ සිට දැනටමත් ස්ථාපිත කර ඇති අතර එහි කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යන බව ද ඇය පැවසුවාය.

HR 3
දේශීය නීතියක් වන මාර්ග ගත සුරක්ෂිතතාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අතිරේක යෝජනා සැලකිල්ලට ගනිමින් රජය සද්භාවයෙන් යුතුව මේවනවිට සංශෝධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව ද ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය පැවසීය.

එමෙන්ම සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අදාලව ඉදිරිපත් වූ පෙත්සම් සමාලෝචනය කිරීමෙන් පසුව, ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත පිළිබඳ සිය තීරණය ලබා දී ඇති බව ද සඳහන් කළාය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය රජය විසින් පිළිගෙන ඇති අතර පනත් කෙටුම්පත නීතියට සම්මත කිරීමට පෙර සුදුසු පරිදි සංශෝධනය කරනු ලබන බවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පනත (NGO ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත් කෙටුම්පත) සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන සමඟ උපදේශන වට හයක් සිදු කර ඇති බව ද ඇය පැවසුවාය.

ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැනි කරුණු සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන විසින් මතු කරන ලද සියලු කරුණු සලකා බලා පනත් කෙටුම්පතට ඒකාබද්ධ කර ඇති අතර ඒවා විසඳීම සඳහා පනත් කෙටුම්පතට ප්‍රතිපාදන ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ඇය විසින් එහිදී අවධාරණය කරන ලදී.

'මේ තත්ත්වයට හේතුව රටේ අව පාලනයයි'

 

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වේ !මහාචාර්ය දීපිකා උඩගම


රටේ ඇති වූ ආර්ථික අර්බුදය වේවා වෙනත් මානව හිමිකම් ගැටළු වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පවතින අවපාලනය, එසේත් නැත්නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ නීති අධ්‍යයන අංශයේ මූලාසන මහාචාර්ය දීපිකා උඩගම බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවාය.

ඇය පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලින කිරීම හරහා ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරන පරිසරයක ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරන්නේ කෙසේද යන්න පිලිබඳ අවධානය යොමු කර ඇති බවය.

"ඇත්තටම මේ ප්‍රකාශය දිහා බැලුවම පෙනෙන්න තියෙන්නේ පහුගිය දශක කිහිපය පුරාම දිගින් දිගටම ලංකාව පිළිබඳව ඉස්මතු කරපු කරුණු කිහිපයක් තවමත් විසඳිලා නැහැ කියලා."

"නමුත් කාට හරි කියන්න පුලුවන් ඉස්සර වගේ දැන් අතුරුදන්වීම් සිදුවෙන්නේ නැහැ, දේශපාලන ඝාතන අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා රටේ මානව හිමිකම් සාධනීය මට්ටමක තිබෙනවා කියලා."

"නමුත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය ගැන පුරවැසියන් විදිහට අපිට එකඟ වෙන්න පුලුවන්, මොකද අපි හැමදාම දකින දේවල්."

"ඔහුගේ ප්‍රකාශය පටන් ගන්නෙම 2022 අවුරුද්දේ සිදුවුණු ආර්ථික අවපාතය සහ ඒකට අදාලව ඇතිවුණු මහජන කැළඹීම ගැන අදහස් දක්වලා. තවමත් ආර්ථික අවපාතයට හේතු වුණු අයට දඬුවම් පමුණුවලා නෑ කියන එක ගැන අවධානය යොමු කරවලා තියෙනවා."

"ඒ වගේම ජනතාවගේ භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රබල විදිහට සීමා කරන්න අණ පනත් ගෙනල්ලා තියනවා. ඒවා අවශ්‍ය නැහැ. නමුත් මහ කොමසාරිස්වරයා ගේ අවධානය යොමු වෙලා තියෙනවා ජනතාවගේ නිදහස සීමා කරන ඒ අණ පනත් ගෙන එන එක සම්බන්ධයෙන්."

"ඒ වගේම අතුරුදන්වූ පුද්ගලයින් ගැන කිසිම තොරතුරක් නැහැ. ඒ පවුල්වල සාමාජිකයින්ට යුද්ධය අවසන් වෙලා වසර ගණනාවක් ගතවෙලත් තවම දැන ගන්න ලැබිලා නැහැ. ඒ වගේම 2019 සිදුවුණු පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට තවමත් පිළිසරණක් නැහැ කියන එක ගැන මානව හිමිකම් කොමසාරිස්වරයා ගේ ප්‍රකාශය තුළ සඳහන් වනවා."

"ඒ වගේම ප්‍රශ්න කරනවා ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල ඌනතා තියෙන අවස්ථාවක, ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරන පරිසරයක කොහොමද ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරන්නේ කියලා."

"ඒ වගේම මේ රටේ ඇතිවූ ආර්ථික අර්බුදය වේවා වෙනත් මානව හිමිකම් ගැටළු වලට ප්‍රධාන හේතුව තමයි රටේ පවතින අවපාලනය එසේත් නැත්නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය කියන එකයි මට කියන්න තියෙන්නේ."

"ඒ වගේම මහ කොමසාරිස්වරයා සිය කරුණු දැක්වීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රබල විදිහට ආර්ථික අර්බුදයෙන් පීඩාවකට ලක්වෙලා ඉන්න ජනතාවට සහය දෙන්න අවශ්‍ය පියවර ගන්න කියලා." ඇය කියා සිටියාය.

( BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්