''ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය'' ග්‍රන්ථය ඇසුරෙන් netflix සිනමා පටයක් නිෂ්පාදනය කිරීමේ සැලසුමක් ඇතැයි ගෝඨාභය රාජපක්ෂ ගේ උපදේශක එරන්ද ගිනිගේ පවසයි. 


එහි තිර පිටපත් මේවනවිට ලියා අවසන් බවද ඔහු කියා සිටියි. 

ඔහු විසින් සමාජ මාධ්‍යවෙත ප්‍රකාශයක් ලබාදෙමින් එබව සඳහන් කර ඇත. එම වීඩියෝව පහත පළවේ. 



ජනපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය ගැන ගෝඨාභයගේ පොතෙන් අනාවරණ රැසක්..

අධිෂ්ඨානශීලි විදේශ බලවේග හා ඇතැම් දේශීය පාර්ශ්ව තමන් ජනාධිපතිධූරයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රචණ්ඩ විරෝධතා හා කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කළ බවත්, ඒ සඳහා මූල්‍යාධාර ලබාදුන් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (07) ප්‍රකාශයට පත් කළ සිය පොතෙන් අනාවරණය කර තිබේ.

''ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය'' ලෙස ඊයේ උදෑසන මෙම පොත වෙළෙඳපොළට නිකුත් කෙරිණ.

ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ අධිශ්ඨානශීලි විදේශ බලවේග හා ඇතැම් දේශීය පාර්ශ්ව තමන් බලයේ සිටින තාක් කල් ඔවුන් සිදුකරන ක්‍රියාවලිය නතර නොකරන බව තමන් දැන සිටි බවයි.

ජනතාව පීඩාවට පත් කරමින් දියත් වෙමින් පැවැති දේශපාලන කුමන්ත්‍රන සහ කඩාකප්පල්කාරී ක්‍රියා අවසන් කිරීම සදහා තමන් ඉල්ලා අස්වූ බව ඔහු සිය පොතේ සඳහන් කර තිබේ.

ප්‍රධාන විදේශ බලවතෙක් !

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසන්නේ තමන් ඉල්ලා අස්විය යුතු නැතැයි බල කරමින් සිටි ප්‍රධාන විදේශ බලවතෙක්ද සිටි බවයි.

එම විදේශ බලවතා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා පවසයි. 

ඔහු පවසන්නේ එසේ තිබියදී ජනතාවට සහනයක් සැලසීමට තමන් ඉල්ලා අස්වූ බවයි.

උපුටා ගැනීම
'' ඇතැම් බලවත් රටවල් , ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යයේ මුර දේවතාවන් ලෙස ලෝකය ඉදිරියේ පෙනි සිටිති. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමට යැයි කියමින් සංවර්ධනය වෙමින් පවතින සෑම රටකම පාහේ වැටුප් ලබන ක්‍රියාකාරීන් ජාලයක්, එම රටවල් විසින් නඩත්තු කරනු ලබයි. නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම නොව, ඔවුන්ගේ අවශ්‍යතා මුදුන්පත් කර ගැනීමය '' 

(උපුටා ගැනීම අවසන්)

තමන් ධූරයෙන් නෙරපීම සදහා ක්‍රියාත්මක වූ සිදුවීම් සම්බන්ධයෙන් කරුණු කිහිපයක්ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පොතෙන් අනාවරණය කර තිබේ.

මිරිහානේ පිහිටි සිය නිවස ඉදිරිපිට 2021 මාර්තු 31 වනදා පැවැති විරෝධතාවය ඉන් එක් අවස්ථාවක්.
  
උපුටා ගැනීම
''රාත්‍රී 8 පමණ වනවිට පැඟිරිවත්ත පාරට ළඟා වූ පෙළපාලියට සැලකිය යුතු පිරිසක් එක්ව සිටියහ. මේ සියල්ල සිදුවන අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා , ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු සියලුම සන්නද්ධ සේවා ආඥාපතිවරුන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මංගල උත්සවකයට සහභාගී වෙමින් සිටියහ. සිදුවෙමින් පැවැති දේ මම ශවේන්ද්‍රටත් , කමල්ටත් දන්වා සිටියමි. ෂැංග්‍රිලා හෝටලයේ මංගල උත්සවයට සහභාගී වෙමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මිරිහානට පැමිණියේය. ඔහු පැමිණෙන විට එම ස්ථානයේ සිට ඇත්තේ විරෝධතාකරුවන් සියයකට ආසන්න පිරිසක් පමණි. එහෙත් එම ස්ථානයේ සිටි පොලිසියේ විශේෂ කාර්ය බලකායේ හා යුද හමුදා නිලධාරීන්ට කළ යුතු දේ පිළිබඳව කිසිවෙකු උපදෙස් ලබා දී නොතිබුණි. සලේ එම ස්ථානයේ සිට ශවේන්ද්‍රට හා කමල්ට වීඩියෝ ඇමතුමක් ගෙන පැමිණ සිටි පිරිස පෙන්වූ නමුත් එම පිරිස විසුරුවා හැරීමට උපදෙස් ඉහළ නිලධාරීන්ගෙන් පහළට ආවේ නැත'' 

(උපුටා ගැනීම අවසන්)

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ හමුදාපති, ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානි හා ආරක්ෂක ලේකම්වරයා තම නිවසට පැමිණියේ පසුදා පෙරවරු 10.30ට පමණ බවයි.

මේ අතර,  2022 ජූලි 08 වනදා ආරක්ෂක හමුදා මූලස්ථානයේ තිබූ මෙහෙයුම් මැදිරිය කොළඹ ජනාධිපති මන්දිරයට ගෙන යන්නැයි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපදෙස් දී තිබේ.

හිටපු ජනාධිපතිවරයා සිය පොතෙන් අනාවරණය කර ඇත්තේ මැයි මාසයේ 09 වෙනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී හිටපු අගමැති ඇතුළු පිරිස ඉවත් කර ගැනීමට හමුදා පිරිස් ගෙන්වා ගැනීමේදී ඇතිවූ අහයපත් අත්දැකීම නිසා තමන් සියලු ආරක්ෂක ප්‍රධානීන්න ජනාධිපති මන්දිරයට කැඳවා මෙහෙයුම් මැදිරිය එහි සිට ක්‍රියාත්මක කළ බවයි.

2022 ජූලි 09 වන දින ආරක්ෂ ලේකම්වරයා , ත්‍රිවිධ හමුදාපතිවරුන්, සහ පොලිස්පතිවරයා මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ අධයක්ෂවරයාද මෙම බුද්ධි මැදිරියේ සිටි බව හිටපු ජනාධිපතිවරයා පවසයි. 

නමුත් ජනතාව කොළඹට පැමිණිමට වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වූ බව ඔහු සිය පොතෙන් හෙළි කර තිබේ.

උපුටා ගැනීම
''ආණ්ඩුවේ සැලසුම වූයේ සියලු ප්‍රවේශ මාර්ග අවහිර කිරීම තුළින් විරෝධතාකරුවන් කොළඹට පැමිණීම වැළැක්වීමයි. නමුත් එවැනි මාර්ග බාධක කොතැනකවත් ස්ථාපිත කර නොතිබූ අතර උද්ඝෝෂකයින් කිසිදු අවහිරයකින් තොරව ජනාධිපති මන්දිරයට පැමිණියේය'' 

(උපුටා ගැනීම අවසන්)

හිටපු ජනාධිපතිවරයා සිය පොතෙන් පෙන්වා දී ඇත්තේ තමන් ධූරයෙන් ඉවත්වී යන අවස්ථාව වන විට ඇතිවී තිබූ ඉන්ධන , ගෑස් හිඟය ඇතුළු ප්‍රශ්න විසදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබූ බවයි.

උපුටා ගැනීම
''ගිලෙන නැවකින් මම තනියම පැන ගියා යැයි ඇතැම් පිරිස් කීවද, මම ඉල්ලා අස් වූ අවස්ථාවේ ශ්‍රී ලංකාව කිසිසේත්ම ගිලෙමින් පැවතියේ නැත. 2022 මාර්තු / අප්‍රේල් මාසවලදී මාව බලයෙන් නෙරපා හැරීම සඳහා, රට වසංගතයෙන් ගොඩ ඒමට පටන්ගෙන තිබූ අවස්ථාවේදී උපාය මාර්ගිකව දියත් කරන ලද විදේශීය හා දේශීය කුමන්ත්‍රණයට මුහුණ දීමට මම අපොහොසත් වූයෙමි. මට තව අවුරුදු දෙකක් බලයේ සිටීම සඳහා එක ජීවිතයක් හෝ නැති කර ගැනීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක් විය''

(උපුටා ගැනීම අවසන්)

(newsfirst.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්